Friday, August 15, 2025
Follow Us
රනිල් දේශපාලනය අතහැර පොත් ලියන්න සූදානම් වෙයි!

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිවෙක් පත්කර නොමැත. ඊට අදාල පත් කිරීම අර්බුදයට ගොස් තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයට පත් නොවන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානම්ව සිටීමයි.

මන්ත්‍රී ධුරය බාර ගන්නා ලෙස එජාප නායකයාගෙන් ඉල්ලා ඇති නමුත් ඔහු එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පක්ෂය තරුණයන් අතට පත්කළ යුතු බවයි. ඒ අනුව මන්ත්‍රී ධුරයද තරුණයෙකුට ලබාදිය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා බොහෝ දෙනෙකු ඉදිරිපත් වී සිටින හෙයින් තවමත් මන්ත්‍රී ධුරය සඳහා පත්කරන පුද්ගලයා පිළිබඳව එකඟතාවයකට පැමිණ නොමැත.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බලකිරීම් හමුවේ වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ දීර්ඝ කාලයක් දේශපාලන කටයුතුවල නිරතව සිටි බැවින් දැන් තමන්ගේ පෞද්ගලික නිදහස භුක්ති විඳීමේ කාලය එළඹ ඇති බවයි.

දශක කිහිපයක දේශපාලන අත්දැකීම් අලලා පොතක් ලිවීමටද අදහස් කරගෙන සිටින බැවින් ඉදිරියේදී පක්ෂයේ සියලු වගකීම්වලින් නිදහස් වීමට තීරණය කර ඇති බවයි එජාප නායකයා පවසා තිබෙන්නේ.

(LNW)