Thursday, April 25, 2024
Follow Us
කුරුඳු පොලු නඩුවෙන් මංගල නිදහස්

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර 2013 වසරේ මාතර නගරයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ චූදිතයන් ලෙස නම්කර සිටි මංගල සමරවීර මහතා ඇතුළු 63 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඊයේ (30) මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවා තිබිණි.

ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකම එකම පක්ෂයේ කණ්ඩායම් දෙකක් වීම හේතුවෙන් සමථයකට පත්වීම සඳහා පැමිණිලි පාර්ශ්වය සහ විත්ති පාර්ශ්වය එකඟතාවයකට පැමිණි අතර පැමිණිල්ලේ නීතිඥ අජිත් සමරසිංහ මහතා ඒ බව අධිකරණය වෙත දැනුම් දී තිබේ. එම කරුණු සලකා බලා සමරවීර මහතා ඇතුළු 63 දෙනා නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් පා ගමනක නිරත වූ එජාප පාක්ෂිකයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබිණි. අදාල පහරදීම සඳහා කුරුඳු පොලු භාවිතා කර තිබීම හේතුවෙන් මෙම නඩුව කුරුඳු පොලු නඩුව ලෙස ප්‍රසිද්ධියට පත්විය.

මෙම සිදුවීමට අදාලව නඩු කිහිපයක් පවරා තිබූ අතර ඊයේ දිනයේදී නඩු දෙකක් සමථයකට පත්ව තිබේ. ශබ්ද විකාශන යන්ත්‍ර පැහැර ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ගොනුකර ඇති ඉතිරි නඩු තුන තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම නඩු තුන ඔක්තෝබර් මස 26 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

(LNW)