Friday, August 15, 2025
Follow Us
විස්ස ගෙන ඒමේ ප්‍රධාන හේතුව බල තණ්හාව

විසිවැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව බල තණ්හාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසීය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාලයේදී ‘විස්ස කාගෙද, කාටද?’ යන මැයෙන් ඊයේ (24 වැනිදා) පැවැති සම්මන්ත්‍රණයේදීය.

ඔහු පෙන්වා දෙන්නේ 20 වැනි සංශෝධනයට අයිතිකරුවකු සිටියද, එහි අයිතිය කියා පෑමට මේ මොහොතේ බියක් දක්වන බවය.

එමනිසා මෙහි මුළු ක්‍රියාවලියම අඩුපාඩු සහිත බවත් මෙය ඉතා කලබල සහගතව සකස් කළ ව්‍යවස්ථා සංශෝධනයක් බවත් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

යෝජිත 20 වැනි සංශෝධනය තුළ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අධිරාජ්‍යවාදී කඳවුරේ අභිලාෂයන් බවද හෙතෙම කීවේය.

එමනිසා මෙය වහා පරාජය කිරීමට කටයුතු කළ යුතු බවද ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

‘‘20 ඇතුළේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය තියෙනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මැතිවරණ කාලයේ කියපු දේවල් කරන්න වෙන්නේ නැහැ. ඒ සුරංගනා කතා මොනවත් කරන්න වෙන්නේ නැහැ. එම්.සී.සී. ගිවිසුමට අත්සන් කරන්න වෙනවා. රටේ සම්පත් ටික විකුණන්න වෙනවා. ඒ වගේම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න දඟලපු අය තම ආත්මය බේරගන්න එහි වැරදි අඩුපාඩු කියනවා. හැබැයි ඒ අය ඒ අඩුපාඩු කියන්නේ මාධ්‍ය ඉස්සරහා විතරයි. හැබැයි 20 ට අත උස්සලා තමයි ඇවිත් ඉන්නේ.’’

(Lanka LEads)