Tuesday, January 13, 2026
Follow Us
20 ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරු අතරවත් එකඟතාවයක් නෑ. අගමැති පත්කළ කමිටුවේ වාර්තාව කෝ? - ජවිපෙ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද විරෝධතා එල්ල වී ඇති බවත්, ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය නොමැතිව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තමන් අකමැති ‍යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවයි.

මෙම කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මතු වූ විරෝධතා හමුවේ අගමැතිවරයාට යළි විමසා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට සිදුවූ බවත්, එහෙත් එසේ පත්කළ කමිටුව විසින් සකස් කළ වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙකුත් නොදන්නා බවත් රත්නායක මහතා පෙන්වා දෙනවා. එම කමිටු වාර්තාවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව රටට කරණු පැහැදිලි කළයුතු බවයි ඔහු පවසන්නේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් සිදුකළ විමසුමට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා සඳහන් කළේ අධිකරණට යෑමෙන් කිසිදු වෙනසක් නොවන බවයි. අධිකරණයේදී විමසා බැලෙන්නේ මෙම සංශෝධනය සම්මත කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මිස සංශෝධනයේ අඩංගු කරුණු මොනවාද යන්න පිළිබඳව නොවන බව පෙන්වා දෙන බිමල් රත්නායක මහතා පවසන්නේ, ගැටලුව තිබෙන්නේ සම්මත කර ගන්නා ආකාරය නොවන එහි අඩංගු වී ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී, ඒකාධිපතිවාදී වගන්ති පිළිබඳව බවයි.

(LNW)