Friday, August 15, 2025
Follow Us
බැඳුම්කර ගනුදෙනුව ගැන තොරතුරු දෙන්න අනුර කුමාර කොන්දේසි දමයි

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව චෝදනා එල්ලවන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දීමේ වුවමනාවෙන් තොරතුරු විමසන්නේ නම් තොරතුරු ලබා දීමට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඊයේ (21) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා කළ පැමිණිල්ලකට අදාළවය.

2015 දී ජනාධිපතිවරයෙක් පත්කරගත්තේ දූෂණ හා වංචා හොයන්න නේද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“ඔව්. කවදාවත් දූෂිතයෙක් තව දූෂිතයෙකුට දඬුවම් දෙන්නෙ නෑ. බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකින් දූෂිතයෙක්ට දඬුවම් දෙන්න උත්සහා කරනවාවම් අපි ඒ උත්සාහයට සහය දෙනවා. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ චෝදනා ඇති හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වාගේම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් ලබා දෙන්න සූදානමින් තොරතුරු අහනවා නම් හෙට ගිහින් තොරතුරු ලබා දෙන්න මා ලෑස්තියි“

(Lanka Leads)