Wednesday, May 01, 2024
Follow Us
ජනතාවගේ තැන්පතු මුදල් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බෑ - හර්ෂගෙන් කබ්‍රාල්ට පිළිතුරු

මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් සතුව ඇති රුපියල් බිලියන 10,000ක තැන්පතු මුදල්වලින් යම් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොල වෙත යොමුකළ යුතු බවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

"දැන් අපි දන්නවා ටික දවසකට කලින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානීන් දෙන්නෙක් ඉවත් කරලා අලුතින් දෙන්නෙක් පත්කරලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගෙ කණ්ඩායමක් මහබැංකුවට ගෙනල්ලා මූල්‍ය පාලනය ඒ දේශපාලන පක්ෂයට ඕනෙ විදියට කරන්න, එහෙම නම් දැන් ඒ පසුබිම සම්පූර්ණයෙන්ම සකස් කරගෙන තියෙනවා.

විගණන කොමිසම අහෝසි කිරීමත් සමඟම ඔවුන් මහබැංකුවේ විගණන සම්බන්ධයෙනුත් සීමා බොහොමයක් දාන්න 20 වන සංශෝධනයෙන් සූදානම් වෙනවා. බැංකුවල රුපියල් බිලියන 9000කුත් ෆිනෑන්ස් කොම්පැණිවල රුපියල් බිලියන 1000කුත් වශයෙන් රුපියල් බිලියන 10,000ක් කියන්නෙ මිනිස්සු මහන්සිවෙලා හම්බුකරලා ඉතුරු කරපු මුදල්.

දැන් කොටස් වෙළඳපොලේ මුදල් යෙදෙව්වාම ලොකු අවදානමක් තියෙනවා. කබ්‍රාල් මහත්තයා මේ පිළිබඳව හොඳටෝම දන්නවා. අවසානයෙහි මොකද වුණේ, සාමාන්‍ය මිනිස්සු රුපියල් 150ට, 180ට, 200ට කොටස් ගත්තට ටික දවසකින් මේක කඩාගෙන වැටුණා. අපි දකින්නෙ භයානක වැඩපිළිවෙලකට මහබැංකුවත් අල්ලගෙන ජනතාවගේ මුදල් තමන්ට අවශ්‍ය තැන්වලට යොදාගන්න පිඹුරුපත් සකස් කරනවා වගේ වැඩක් තමයි අපට පේන්නෙ.

දැඩිව අවධානය යොමු කරනවා ඉදිරියේදී මොවුන්ට ජනතා මුදල් එක්ක සෙල්ලම් කරන්න අපි ඉඩ තියන්නේ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ගාල්ලේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)