ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව පැවසීමට නීතිපතිවරයා කිසිදු බලයක් නොමැති බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසනවා. ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවයි ඇමතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
නීතිපතිවරයාගේ රාජකාරිය අදාල වන්නේ අධිකරණයට බවත්, මන්ත්‍රී ධුරය සම්බනධයෙන් මතුව ඇති ගැටලුව විසඳා ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවත් ඔහු පවසනවා.
ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වනවිට මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සඳහා, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයාට අධිකරණයේදී මැදිහත් විය හැකි නමුත් ප්‍රේමලාල් ජයසේකර මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලයක් නීතිපතිවරයාට නොමැති බව ඇමතිවරයා අවධාරණය කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ, නීතිපතිවරයා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍යංශය වෙත සිදුකර තිබූ දැනුම් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
(LNW)