Monday, August 11, 2025
Follow Us
ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයෙන් බැසිල් පාර්ලිමේන්තුවට

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිතය.

ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජයන්ත කැටගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ ලබා දීම පිණිස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත වූවකුට මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ පාර්ලිමේන්තු ආසනයක් දැරිය නොහැක. නමුත් ඉදිරි සති කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී මෙම ද්විත්ව පුරවැසිභාවයට සම්බන්ධ වගන්තිද සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටී.

ඉදිරි මාස 3 ඇතුළත මේ සම්බන්ධ කටයුතු අවසන් වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ආර්ථිකය සම්බන්ධ විශේෂ බලතල රැසක් බැසිල් රාජපක්ෂ මහතාට බාරදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවා ඇති ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

කූඹියා නිව්ස්