Thursday, October 22, 2026
Follow Us
 නොවැම්බර් 02 සිට 08 දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 වැනිදා සිට 08 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

 

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
 
එහිදී අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි.
 
පසුගිය ජුනි සහ ජූලි මාසවලදී රට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට මුහුණ දුන් බවත්, එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
 
පසුගිය ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,500ක් වාර්තා වූ අතර, ජූලි මාසයේදී එම සංඛ්‍යාව 29,967ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී රෝගීන් සංඛ්‍යාව 10,155ක් දක්වාත්, සැප්තැම්බර් මාසයේදී 5,130ක් දක්වාත් අඩු කර ගැනීමට හැකි වූ බවද ඔහු පැවසීය.