Sunday, December 21, 2025
Follow Us
විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වෙයි

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ (HL-FRAC) සිව්වන සැසිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 19 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ආපදා සහන කටයුතු සඳහා ලැබෙන විදේශ ආධාර කළමනාකරණය සහ බෙදා හැරීම විධිමත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වේ.

මෙහිදී දත්ත ඉන්වෙන්ටරි පද්ධතියේ ප්‍රගතිය, එහි දත්ත ආරක්‍ෂණය (Data Security), ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන ප්‍රධාන ගබඩාවේ කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සමස්ත ක්‍රියාවලිය අධීක්‍ෂණය සඳහා වූ අභ්‍යන්තර විගණන සැලසුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ඔරුගොඩවත්ත සහන ගබඩාවේ මෙහෙයුම් විධිමත් කිරීම සහ සහන සේවා යාවත්කාලීනව         නිරීක්‍ෂණය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මානුෂීය ආධාර විනිවිදභාවයකින් යුතුව පීඩාවට පත් ජනතාව වෙත කඩිනමින් ලබාදීමට සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කමිටු සාමාජිකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නිලධාරීන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.