Friday, December 19, 2025
Follow Us
මෙරට ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී  සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GovPay, ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියන 2  ඉක්මවයි

ශ්‍රී ලංක‌ාව ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී  සිදු කළ  ඩිජිටල් ගනුදෙනුවල  මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ.

ශීඝ්‍රයෙන් අනුවර්තන වීමේ හැකියාව, මහජන විශ්වාසය දිනා ගැනීම සහ රාජ්‍ය ආයතනවලින් ලද පිළිගැනීම හේතුවෙන් GovPay දින 45ක කාලයක් තුළ  එහි ආදායම රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 2 දක්වා දෙගුණ කර ගැනීමට සමත්ව සිටී.

2025 පෙබරවාරි 07 වන දින නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා  GovPay ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර තිබේ. මෙම පද්ධතිය කෙරෙහි මෙරට පුරවැසියන් සහ රාජ්‍ය ආයතන යන දෙඅංශයේම පවත්නා විශ්වාසය මෙම වේගවත් වර්ධනය තුළින් පිළිබිඹු වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික නායකත්වය යටතේ, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), LankaPay සමඟ ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කළ  GovPay,     ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රධාන සේවා සපයන්නෙක් බවට පත්ව සිටි. සියලු දෙනාටම පොදුවේ කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් සැපයීම සඳහා මෙම ඩිජිටල් වේදිකාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

2025 අප්‍රේල් 10 වන දින GovPay හරහා රථවාහන දඩ ගෙවීම් සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. එතැන් සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66 කට වඩා ආදායමක් උපයා ඇත. මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් පුරා ක්‍රියාත්මක වේ. මෙය 2025 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ව හේතුවෙන් කල් දැමුණු අතර,ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් සහ LankaPayහි සහාය ඇතිව, 2026 ජනවාරි මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එකඟතාව පළ කර ඇත.

GovPay ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන හරහා එහි ප්‍රවේශය පුළුල් කරමින්, පුරවැසියන්ගේ එදිනෙදා කටයුතුවලදී රජයේ සේවාවලට ප්‍රවේශ වීමේ පහසුකම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත.  උතුරු පළාතේ සියලුම පළාත් පාලන ආයතන සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම ඩිජිටල් ගනුදෙනු කිරීමේ පහසුකම ස්ථාපිත කර ඇති අතර, 2026 වන විට සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීමේ ජාතික ඉලක්කය ළඟා කර ගැනීම රජයේ ඉලක්කයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලිසිය, කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වැනි ආයතන 2025දී GovPay සඳහා ඉහළම දායකත්වයක් ලබා දුන් ආයතන අතරට පැමිණ තිබේ. විශේෂයෙන් මේ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ඉහළ පිළිගැනීම තරුණ පරම්පරාවන් ඩිජිටල් පරිවර්තනය වැලඳ ගැනීමට ඇති කැමැත්ත මෙන්ම මෙම ඩිජිටල් වේදිකාවේ පරාසය සහ විශ්වසනීයත්වය පෙන්නුම් කරයි.

සාමාන්‍ය රජයේ සේවාවලට අමතරව, GovPay දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්වයට සහන සැලසීම සඳහාද සහාය විය. 2025 නොවැම්බර් 30 වන දින සිට, මෙමගින් Rebuilding Sri Lanka ආපදා සහන අරමුදලට ඩිජිටල් පරිත්‍යාග සඳහා පහසුකම් සැලසූ අතර, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර ඇතුළුව ගනුදෙනු 909ක් හරහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් එම අරමුදලට රැස් කර දීමට සමත්ව තිබේ.

පවත්නා අවශතා අනුව, තවත් ආයතන සහ සේවා ඇතුළත් කරමින්, වැඩිදියුණු කළ පහසුකම්ද සමඟ www.govpay.lk නවීකරණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කරමින් සිටී. පළමු වසර තුළම රුපියල් බිලියන 2 ක ඩිජිටල් ගනුදෙනු සිදු කරමින් සහ දින 45ක කාලයක්  තුළ  රුපියල් බිලියන 1ක ආදායමක් ලබා ගැනීමට සමත් වීම තුළ GovPay ඩිජිටල් වේදිකාව, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක්  කරා යන රජයේ දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා සුවිශේෂී  ඇරඹුමක් ලෙස දැක්විය හැකිය.