Sunday, December 21, 2025
Follow Us
බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා මෙරට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - සෞඛ්‍ය ඇමැති

ඉන්දියාවේ පැවැති සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තහවුරු කරමින්  සාර්ථකව අවසන් වේ.

බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා මෙරට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත්, ශ්‍රී ලංකාව ගෝලීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමෝපායන් අනුගමනය කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවේ (The World Health Organization (WHO)’s Second Global Summit on Traditional Medicine) අවසන් දිනය වූ ඊයේ (19) සමුළුව අමතමිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය  (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා සාක්ෂි, ඒකාබද්ධ කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්ලියේ  (New Delhi)  Bharat Mandapam හිදී පැවැත් වූ මෙම සමුළුව පසුගිය (17) දින ආරම්භ වූ අතර, ඊට රටවල් 100 කට වැඩි ගණනක රජයේ අමාත්‍යවරුන්, විද්‍යාඥයින්, ස්වදේශික නායකයින් සහ වෘත්තිකයන් එක්ව සිටියේ ය.

ශක්තිමත් සාක්ෂි, වඩා හොඳ නියාමනය, පද්ධති ඒකාබද්ධ කිරීම, සහයෝගීතාවය සහ ප්‍රජා සහභාගීත්වය මත කේන්ද්‍රගත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සාම්ප්‍රදායික වෛද්‍ය උපායමාර්ගය 2025–2034 ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් ප්‍රධාන විද්‍යාත්මක මුලපිරීම් සහ නව කැපවීම් මෙම සමුළුවේ දී නිවේදනය කරනු ලැබීය. එමෙන්ම සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදුණු පර්යේෂණ වාර්තා එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.

පසුගිය (19) සමුළුවේ අවසන් සැසිවාරය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සංස්කෘතික උරුමයන් සහ විද්‍යාත්මක ප්‍රමිතීන් යන දෙකටම ගරු කරමින්, මෙම පද්ධති තිරසාර ලෙස සංවර්ධනය, නියාමනය මෙන්ම නවීන සෞඛ්‍ය සේවා සමඟ ඒකාබද්ධ කිරීම සහතික කිරීම සඳහා සකසන මාර්ග සිතියම අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය රට පුරා පිහිටුවනු ලබන “ආරෝග්‍යා” ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන තුළ බටහිර සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවන් ඒකාබද්ධ කර  ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ශ්‍රී ලාංකික ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිතා කරන බැවින්, බොහෝ විට සුළු රෝග සඳහා පළමු තෝරා ගැනීම එය වන බවත්,  ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව තවදුරටත් ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා පුරාණ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සෞඛ්‍ය සේවාව වසර 5000 ක් පමණ පැරණි වන බවත්, කාලාන්තරයක් තිස්සේ පරම්පරාවෙන් පැවත එන බෙහෙත් වට්ටෝරු මාලාවක් මත පදනම්ව මෙරට සාම්ප්‍රදායික සෞඛ්‍ය සේවා පද්ධතිය වර්ධනය වන බව ද පැවැසීය. මෙය "වෙද පරම්පරාව" ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවටම ආවේණික සම්ප්‍රදායන් සහ පෙළපත් මත සියලුම සාම්ප්‍රදායික පද්ධති එකම පුරාණ සම්භවයක් මගින් පැවැත එන බව ද වැඩිදුරටත් පැවැසිය.

1961 අංක 31 දරන ආයුර්වේද පනත යටතේ ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශිය චිකිත්සා වලින් සමන්විත සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ආයතන ගත කරන ලද බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රීය ආයතනයක් ලෙස කටයුතු කරන බව ද  සඳහන් කළේය. එමෙන්ම දැනට රට තුළ ලියාපදිංචි ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය නිලධාරීන් 2,363 ක් සහ සාම්ප්‍රදායික වෛද්‍ය වෘත්තිකයන් 22,000 සිටින බව ද පැවැසීය.

පසුගිය 17 දින සිට 19 දින දක්වා පුරා තෙදිනක් ඉන්දියාවේ නවදිල්ලියෙහි පැවැති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය සුරංගි සංජීවනී පෙරේරා යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.