Sunday, November 17, 2024
Follow Us
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර බෙදී යන්නේ මෙහෙමයි

2024 මහ මැතිවරණයේදී එක් එක් පක්ෂ වෙත හිමි වූ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධුර සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල මහලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව අද (17) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සමගි ජන බලවේගයට මෙවර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 05ක් හිමි වූ අතර ඒ සඳහා පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ එම පක්ෂය මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවද වාර්තා වේ.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 ක් හිමිවුණු අතර එම මන්ත්‍රී ධුර සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සාකච්ඡාවක් අද පවත්වා තිබේ.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදීයි. 

එමෙන්ම පොදුජන පෙරමුණට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිව තිබූ අතර එම මන්ත්‍රීධුරය සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානය නාමල් රාජපක්ෂ නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

මෙවර නව පක්ෂයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වූ සර්වජන බලය ද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ජාතික ලැයිස්තුවෙන් හිමි වූ එම මන්ත්‍රීධුරය සඳහා නම් කරන්නේ කවුදැයි යන්න අද පක්ෂයේ ජාතික විධායක කමිටුව රැස්වී තීරණය කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි අතරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එක බැගින් බෙදී ගිය අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කවුරුන්දැයි අද දිනයේ ප්‍රකාශ කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

Aruna