Wednesday, December 04, 2024
Follow Us
10 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරන මහමැතිවරණය සාමකාමීව අවසන්

රී ලාංකේය දේශපාලන වංශ කථාවට නව පරිච්ඡේදයක් එක් කරමින් දස වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඊයේ (14) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස අවසන් විය.

මන්ත්‍රීවරු 225ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති මහමැතිවරණය සඳහා අපේක්ෂකයන් 8,361 දෙනකු ඉදිරිපත් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 5,015ක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් 3,346 දෙනකු ඊට අයත් වූහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96(4) හා 98 ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරු 196 දෙනකු ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරු 29 දෙනකු ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනීමට නියමිතයි.

මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ඊයේ (14) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් විය. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහමැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතර (17,140,354) දෙනකු වූ අතර ඡන්ද දායකයන් 737,902ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඡන්ද හිමි ලේඛනය අනුව වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කට අයත් වන අතර එම සංඛ්‍යාව දහඅට ලක්ෂ 81,129කි. මන්නාරම දිස්ත්‍රික්කය මෙවර අඩුම ඡන්දදායකයන් සහිත දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 91,607ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමේ කටයුතු පස්වරු 5.00ට පමණ ආරම්භ විය. ඡන්දය ගණන් කිරීම සඳහා රට පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර තිබූ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කළ නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වූහ. සාමාන්‍ය ඡන්දය ගණන් කිරීමේ ශාලා සම්පූර්ණ සංඛ්‍යාව 1,582ක් වන අතර 452කදී තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරිණි. ඊට අමතරව ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 22ක් විය. ඊයේ (14) පස්වරු 7.30 පමණ වන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රී 9.00ට පෙර නිකුත් කිරීමට හැකි විය. අද (15) පස්වරුව වන විට සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචි අතර ඉන් දේශපාලන පක්ෂ 49ක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කළේය. ඒ අනුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8,361ක් නාමයෝජනා භාරදුන් අතර, ජාතික ලැයිස්තුව මඟින් නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 527කි. මේ අනුව, සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 8,888කි. දසවැනි පාර්ලිමේන්තුව සඳහා මහජනතාවගේ ඡන්දයෙන් සභිකයන් 196 දෙනකු ද ජාතික ලැයිස්තුව මඟින් සභිකයන් 29 දෙනකු ද තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මෙවර මහමැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19කි. ඒ වෙනුවෙන් තරගවදින අපේක්‍ෂකයන් සංඛ්‍යාව 902ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 18ක් සහ කුරුණෑගලින් 15ක් ලෙස මන්ත්‍රීවරුන් තෝරා ගැනේ. අඩුම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 04කි. වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයටය. එම සංඛ්‍යාව 966කි. අඩුම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් තරගවදින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 120ක් වෙයි.

මෙවර මැතිවරණයේදී ඡන්දදායිකාවන් සඳහා පමණක් වෙන්වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 107ක් වූ අතර සමස්ත ඡන්ද මධ්‍යස්ථාන 13,421 අතුරින් 6,147ක් තනි පෝලිමකින් ද 7,274ක් පෝලිම් දෙකකින් ද යුතු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීම මෙවර මැතිවරණයේ විශේෂත්වය වූ අතර ඉකුත් ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සුළැඟිල්ල සහ මහපට ඇඟිල්ල සලකුණු කිරීම හේතුවෙන් මෙවර වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට පියවර ගත් බව ද එම කොමිසම සඳහන් කරයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බවට මැතිවරණ කොමිෂම දැනුම් දී තිබූ අතර ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයන්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ආදිය භාවිත කළ හැකි විය.

ඡන්දපොළට ඇතුළු වන දොරටුවේ සිට මීටර භාගයක දුර ප්‍රමාණයක් ඇතුළතදී කිසිම තැනැත්තකු විසින් ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියකුගෙන් ඡන්දය ඉල්ලීම, යම් අපේක්ෂකයකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියකු පෙළඹවීම, අත්පත්‍රිකා, දැන්වීම්, යම් අපේක්ෂකයකුට වෙන්කර ඇති යම් ලකුණක් බෙදාදීම, ප්‍රදර්ශනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළ අතර මැතිවරණ කොට්ඨාස 22හි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරිණි.

මැතිවරණය අවසන් වී සති දෙකක කාලයක් ඇතුළත පෙළපාළි, රැස්වීම්, අපේක්ෂකයන් පිළිගැනීම් ආදි කිසිවක් සිදු කළ නොහැකි වන අතර නව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත 10 වැනි පාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

 

Dinamina