Wednesday, January 14, 2026
Follow Us
මනාප ගැන ජානිපෙන් පොහොට්ටුවට දිගටම චෝදනා. විපක්ෂයේ කාර්යභාරය කරන්නත් සූදානම් ලු !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තම පක්ෂයෙන් තරග වැදුණු අපේක්ෂකයින්ගේ මනාප සොරකම් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.

මෙහි පළමු පියවර වශයෙන් ප්‍රතිඵල නිකුත් වුණු පෙරේදා (07) දිනයේදීම මාධ්‍ය හමුවක් පැවැත්වූ ජානිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා පැවසුවේ තමන්ව පැරදවීම සඳහා පොහොට්ටුව තුළම කුමන්ත්‍රණයක් තිබුණු බවත් තම මනාප ප්‍රමාණය වෙනස් කර තමන්ව ඉවත් කරන්නට ඇති බවත්ය.

එදිනම අනුරාධපුරයේදී ජානිපෙ අපේක්ෂක උද්දික ප්‍රේමරත්න මහතාගේ ආධාරකරුවන් පැවසුවේ ඔහු ජයග්‍රහණය කළ ද මීට වඩා මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබුණු බවත් ලැයිස්තුවේ 4 වෙනි තැනට සිටි එස්. එම්. චන්ද්‍රසේන මහතා උද්දිකගේ මනාප සොරකම් කර ඇති බවත්ය. ආධාරකරුවන් හමුවේ හැඟීම්බර වෙමින් උද්දික මහතා හඬා වැළපෙන ආකාරය ද එහිදී දක්නට ලැබිණි.

එමෙන්ම ඊයේ (08) දිනයේදී ජානිපෙ අපේක්ෂක ජගත් ප්‍රියංකර මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් මනාප ගණනය කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව කියා සිටියේය. මනාප ගණන් කිරීමේදී දිස්ත්‍රික්කයෙහි පස්වන ස්ථානය තමන්ට හිමිව තිබුණු නමුත් අවසන් ප්‍රතිඵල නිකුත් වෙද්දී අනපේක්ෂිත ලෙස තමන්ව අංක 6 ස්ථානයට දමා තිබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව තමන්ට අහිමි කළ ජයග්‍රහණය නැවත ලබාගැනීම සඳහා සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ඒ මහතා මාධ්‍ය හමුවෙන් පසු දේවාලයකට ගොස් පොල් ගැසීමක් ද සිදු කළේය.

මේ සියල්ල අතරේ ඊයේ කලුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා තරමක් ආවේගශීලීව අවවාදාත්මක ස්වරූපයෙන් ආණ්ඩුව වෙත අදහස් දක්වන ආකාරයක් ද දක්නට ලැබිණි.

"එළඹෙන ගොඩනැගෙන අභිනව ආණ්ඩුව පාර්ශ්ව දෙකක් නියෝජනය කරන ආණ්ඩුවක්. මේකෙ විපක්ෂයේ කාර්යභාරයත් අවශ්‍ය වුණොත් අපට කරන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය වගේම අපේ දේශපාලන සංස්කෘතිය තමයි අපි සාධනීය විවේචන කරනවා, අපි හිටපු හැමතැනකම.

අපෙ ආණ්ඩුව වුණත් අඩුවක් තියෙනවා නම් අපෙ ආණ්ඩුව වුණත් ජනතාවට සතුරු දෙයක් කරනවා නම් අපෙ ආණ්ඩුව වුණත් රටට හතුරු දෙයක් කරනවා නම් අප බය නැතුව ... අපට ඒ පිළිබඳ කොන්දේසි නෑ. කිසි කෙනෙකුට අයිතියක් නෑ පිරිසිදු පාරිශුද්ධ වරම කෙළසන්න. අපි ඉල්ලන්නෙ එවැනි කෙළෙසීම් කරනවා නම් තරාතිරම නොබලා ඒ අයට දඬුවම් දෙන්න ඕනෙ. නිරෝගිමත් දේශපාලනඥයො ටිකක් මෙවර පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳ විශ්වාසය තියන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)