සමගි ජන බලවේගයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඒකමතිකව තීරණය කර ඇති බවට පුවතක් අප අද දහවල් පළ කළේය.
මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, පලනි දිගම්බරම් මහතාගේ ජාතික කම්කරු සංගමය, වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ කඳුරට ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවලින් සමන්විත දමිළ ප්‍රගතිශීලී සන්ධානය මෙම තීරණයට එළඹ ඇත්තේ අවම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් සමගි ජන බලවේගයේ සමගිය ආරක්ෂා වන පරිදි එම මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදා ගැනීම සඳහා බව අදාල පුවතේ සඳහන් විය.
කෙසේ වෙතත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා Lanka News Web වෙත ප්‍රකාශ කළේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර නොමැති බවයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරමින් සිටින බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා උත්සාහ දරන බවත් ඔහු පවසනවා.
ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරුන් පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පවසන්නේ.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ප්‍රමාණය 07 කි.
(LNW)