Tuesday, August 05, 2025
Follow Us
මැතිවරණ ජයග්‍රහණයේ විශේෂ ගෞරවය බැසිල් රෝහණ රාජපක්ෂටයි - පොහොට්ටු සභාපති

2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශේෂ ගෞරවය එම පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට හිමි වියයුතු බව එම පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා පවසයි.

"මේ රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් අපට පුළුවන් වුණා දිස්ත්‍රික්ක 19ක් ජයග්‍රහණය කරන්න. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපි විශේෂ ගෞරවය පුද කරන්න ඕනෙ ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

කෝවිඩ් 19 පාලනය, පාතාල මර්දනය සහ මත්කුඩු ජාවාරම මර්දනය යන කරුණු තුන ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනගිය විශේෂ ශක්තිමත් වැඩපිළිවෙලට පසුගිය මාස 6 - 7 තුළ ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිව තිබුණු බව පැවසූ පීරිස් මහතා ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලනයේ පවතින ශක්තිය වැඩි දියුණු කරමින් ජනතා ප්‍රශ්න විසඳීමේ සම්පූර්ණ බලය ජනතාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදී ඇති බවත් ප්‍රකාශ කළේය.

පොහොට්ටුවට ලැබී ඇති බලය අනුව පාර්ලිමේන්තුව තුළ කේවල් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩක් නොමැති බව පැවසූ ඒ මහතා එසේ වුවත් රජය අත්තනෝමතික ලෙස කටයුතු කරනු ඇති බවක් එයින් අදහස් නොවන බවත් පැවසීය.

ඩග්ලස් දේවානන්දා මහතාගේ පක්ෂයේ ආසන දෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනයේ ආසනයත් අතාවුල්ලා සහ පිල්ලෙයාන් මහත්වරුන්ගේ ආසනත් සමඟින් තුනෙන් දෙකක බලය සම්පූර්ණ වන බව පැවසූ ඒ මහතා පාර්ලිමේන්තුව අගෝස්තු 20 වනදා රැස්වූ පසුව අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට ද බලය තම රජය සතුව පවතින බවයි පෙන්වා දුන්නේ.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

(LNW)