Friday, April 26, 2024
Follow Us
හෙට පැවැත්වෙන ඡන්දයට අදත් පෙරහුරුවක්

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී කාර්යාල භාරයේ තිබෙන ඡන්ද පෙට්ටි අද (04) පෙරවරු 08.00ට ඡන්ද මධ්‍යස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීම ආරම්භ කෙරෙනු ඇති.

හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට අදාලව පෙරහුරුවක් ද ඡන්ද මධ්‍යස්ථානවලදී අද සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පැවසුවේ.

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා සිටිනවා. ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මෙවර මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 25 ක් සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂකයන් 7,456 දෙනෙකු තරග වැදීමට නියමිතයි.

මේ අතර මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,500 ක සංඛ්‍යාවක් යොදවන බව පොලිසිය පවසනවා.

පොලිස් නිලධාරීන්ට අමතරව මෙලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවන බවයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත වීරසූරිය වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)