ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තමන් අත් අඩංගුවට ගැනීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මස 7 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කරනු ලැබුවා.
මෙම පෙත්සම අද දින විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවූ අවස්ථාවේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පුද්ගලික හේතුවක් මත මෙම පෙත්සම විභාග කිරීමෙන් ඉවත් වන බව දැනුම් දෙනු ලැබුවා.
එලෙස අත්අඩංගුවට ගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙසට හිටපු ඇමතිවරයා සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් මීට පෙර ප්‍රකාශ කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි. සිය පෙත්සම මගින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද හිටපු අමාත්‍යවරයා ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, වැඩ බලන පොලිස් පති වරයා සහ නීතිපති මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර ඇත.
(Neth)