Monday, August 04, 2025
Follow Us
අගමැති අපේක්ෂාවට ජනපති සහය

ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී.

අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව එතුමා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (26) කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් හිරියාල, මැල්සිරිපුර නගර මධ්‍යයේ පැවති ජන හමුවේදී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා එසේ පැවසීය.

අපේක්ෂක යූ.කේ. සුමිත් මහතා හමුව සංවිධාන කර තිබූ අතර හිරියාල සංවර්ධන ඉදිරි දැක්ම ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදි සිදු කෙරිණ.

නාමල්අංග විද්‍යාලයත් ක්‍රීඩාංගණයත් යා කරමින් ගුවන් පාලමක් සහ හිරියාලට ආයුර්වේද රෝහලක් ඉදිකර දෙන ලෙස කළ ඉල්ලීම ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය. ඒ පිළිබඳ අධ්‍යයනය කොට වාර්තා කරන්නැයි නිලධාරින්ට දැනුම් දෙනු ලැබීය.

අපේක්ෂක ජයරත්න හේරත් මහතා සත්‍යවාදී පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. කුරුණෑගල නගරයට අංග සම්පූර්ණ ගෘහස්ත දැල් පන්දු ක්‍රීඩාංගණයක අවශ්‍යතාව හමුවට පැමිණ සිටි ක්‍රීඩිකාවෝ පිරිසක් විසින් ජනාධිපතිතුමාට දැනුම් දුන්හ.

මේ අවස්ථාවට එක්ව සිටී ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායිකා තර්ජිනී සිවලිංගම් මෙනවිය සමග ජනාධිපතිතුමා සුහද කතා බහ නිරත විය.

ප්‍රදේශයේ පානීය ජල ගැටලු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. උපාධිලාභී රැකියා පත්වීම් මැතිවරණයෙන් පසු සිදු කෙරෙන බව පැණයකට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා කීය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවන්ට එක් විය.

(Aruna)