Monday, August 04, 2025
Follow Us
කම්මැලිකමට වට්ටක්කාම වවන්න එපා, මහන්සියෙන් හොඳ වෙළඳපොලක් තියෙන දේවල් වවමු - බැසිල්

පහසුවෙන් වගාකළ හැකි වට්ටක්කා වැනි භෝග මහා පරිමාණයෙන් වවනවා වෙනුවට ගොවීන් ද වෙහෙස මහන්සි වී හොඳ වෙළඳපොලක් සහිත භෝග නිශ්පාදන කිරීමට කැපවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

"අපි හොඳ නිශ්පාදනයක් හදලා හොඳ මිලකට, පහසු මිලකට පාරිභෝගිකයාට දෙමු ගොවියාත් ඒවගේ තමුන්ගේ වෙහෙස මහන්සි වෙලා. අර කම්මැලිකමට ගිහිල්ලා මාසෙකට සැරයක් ගිහිල්ලා දානවා කුඹුරට වට්ටක්කා ඇට දෙකක්. තුන් මාසෙකට පස්සෙ ගිහිල්ලා වට්ටක්කා හැදුනාම ජනාධිපතිතුමාට දෙනවා අපි දුක් මහන්සියෙන් වට්ටක්කා වැව්වා, එව්වා විකුණාගන්න බෑ කියලා.

ඉතිං දෙයියනේ ඔච්චර වට්ටක්කා කන්නෙ කවුද ? මං වට්ටක්කා අර වෙලාවෙ දීලා අවුරුදු දවස්වල මට මන්ත්‍රීතුමාලා බැන්නා නොනගතේ වෙලාවෙ වට්ටක්කා එව්වායි කියලා. වට්ටක්කා ගන්නෙ මළගෙවල්වලට දානෙ ගෙවල්වලට විතරයිලු කියලා. ඉතිං වට්ටක්කායි පතෝලයි, ඉතුරු වුණේ අපට එච්චරයි.

ඉතිං ඒනිසා අපි හොඳ වෙළඳපොලක් තියෙන දේවල් නිශ්පාදනය කරමු. එහෙම කළොත් තමයි ගොවියාව නග්ගන්න පුළුවන්. මහන්සි වෙමු. රට හදමු. ඒකට අපි සියලු දෙනාම කැපවෙමු !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

මැතිවරණ අවාසිය නොතකා මේ ප්‍රශ්නය විවෘතව කතා කිරීමේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රවේශය අගය කරන අතර එළවලු වගාව විවිධාංගීකරණය කිරීම සංවිධානාත්මකව සිදුකිරීම සඳහා රජයේ පූර්ණ මැදිහත්වීම ද අත්‍යාවශ්‍ය බව සිහිපත් කරන්නෙමු.

(LNW)