Monday, August 04, 2025
Follow Us
කරුණාට එක නීතියක්, බදූර්දීන්ට වෙනම එකක්. මැතිවරණයට සතියක් තිබියදී CID යන්නැයි නොතීසි

ජුලි 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (21) නොතීසි නිකුත් කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ නොතීසි නිකුත් කර ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙහි සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව කියමින් එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා සහ රවී කරුණානායක මහතා සම්බන්ධ විමර්ශන මහමැතිවරණය අවසන් වනතෙක් කල්තබන ලෙස මැතිවරණ කොමිසම විසින් ලිඛිත දැනුම් දීමක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබියදීම වීම විශේෂත්වයකි.

මේ අතර හමුදා නිලධාරීන් 2000ක් එක රැයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායක කරුණා අම්මාන්ව අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ගොනුකර තිබුණු පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ද ඊයේ දිනයේදීමය.

එම තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙමින් සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණේ මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ව මහමැතිවරණය අවසන් වනතෙක් කැඳවා ප්‍රශ්න නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට කර ඇති දැනුම් දීම ද සලකා බලා, කරුණා අම්මාන්ට එරෙහි විමර්ශන තවමත් මුල් අවදියෙහි පවතින හෙයින් ඔහුව අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවකි.

අභියාචනාධිකරණය ආණ්ඩු පාර්ශ්වයේ අපේක්ෂකයකු පිළිබඳ එසේ කියද්දී එදිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විපක්ෂයේ නියෝජිතයකු සම්බන්ධයෙන් එකම මැතිවරණ කොමිසමේ දැනුම්දීම නොසලකා හැර කටයුතු කිරීම තම තම ණැන පමණින් තේරුම්ගත යුතුව ඇති බවක් පෙනේ.

(LNW)