Monday, August 04, 2025
Follow Us
ඩබල් පාස්පෝට් නඩුවේ ශෂී වීරවංශට උසාවියෙන් වරෙන්තු

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ‍ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙසේ වරෙන්තු නිකුත් කළේ ශෂී වීරවංශ මහත්මිය අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ව්‍යාජ හැඳුණුම්පත් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී නොසිටි අතර මීට පෙර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥයෙකු අද අධිකරණය ඉදිරියේ ඇය වෙනුවෙන් පෙනී සිට තිබේ. ඔහු අධිකරණය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ සිය සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ඊට අදාල වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට නීතිඥවරයා අසමත් විය.

මේ නිසා විත්තිකාරියට එරෙහිව වරෙන්තු නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය පොලීසිය නියෝග කළේ ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන අගෝස්තු 18 වැනිදා දක්වා කල් තැබිණි.

 

(LNW)