Monday, August 04, 2025
Follow Us
මැකොසගේ ලිඛිත නියමය නොතකා CIDයෙන් බදුර්දීන්ට කැඳවීමක් - නාවොත් දඬුවම්ලු !

අද (20) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

ඊයේ දිනයේදී මන්නාරම පොලීසිය හරහා හිටපු අමාත්‍යවරයා වෙත එම දැනුම් දීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ - 03 ස්ථානාධිපති දීපානි මැණිකේ මහත්මිය විසිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙසේ කැඳවන බව දන්වා තිබේ. මීට පෙර අවස්ථා තුනකදී දැනුම් දී තිබුණද බදියුදීන් මහතා නොපැමිණි නිසා අද දිනයේදී තවදුරටත් රහස් පොලීසිය හමුවේ පෙනී නොසිටියහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 172 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බවත් ලිපියකින් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් රහස් පොලීසිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාට සහ රවී කරුනානායක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන, මහ මැතිවරණය අවසන් වනතෙක් අත්හිටුවන ලෙස මැතිවණ කොමිසමේ සභාපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබියදී වීම විශේෂත්වයකි.

මැතිවරණයක් කැඳවා තිබියදී ආණ්ඩුවේ දේශපාලන වුවමනාව වෙනුවෙන් විපක්ෂයේ දේශපාලනඥයන් නීතිමය කටයුතුවලට කැඳවමින් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අඩපන කිරීමේ සැළසුම් සහගත මෙහෙයුමක් පොලීසිය විසින් දියත් කර ඇති බට පෙන්වා දෙමින් මැතිවරණය අවසන් වනතෙක් එම විමර්ශන අත්හිටුවීමට මැදිහත් වන්නැයි පසුගිය සිකුරාදා පැවති දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි.

එහිදී පක්ෂ නියෝජිතයන් පෙන්වා දී තිබුණේ 2015 අගෝස්තු මහ මැතිවරණය සමයේද නාමල් රාජපක්ෂ සහ සරණ ගුණවර්ධන යන අපේක්ෂකයන්ට එරෙහිව සිදු වූ විමර්ශන, මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් තාවකාලිකව අත්හිටවූ බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එදිනම පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයාට එම විමර්ශන අත්හිටුවන ලෙස ලිඛිතව දැනුම් දී ඇතත් ඔහු එම දැනුම් දීම තඹයකට මායිම් නොකර කටයුතු කරන බව පෙන්නුම් කෙරේ.

(LNW)