2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ යැයි චෝදනා එල්ල කළ එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
එම චෝදනාව සම්බන්ධයෙන් ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ පරීක්‍ෂණ අවසන් කර තිබෙන්නේ ඒවා පාවා දීමක් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව දක්වමින් බවත් හෙතෙම කීවේය.
එසේ නම් එවක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද මහතා හිතා මතා සාවද්‍ය චෝදනාවන් එල්ලකර ඇති බව කී විජිත හේරත් මහතා එමගින් සිදුවූයේ රටට ඉමහත් කීර්තියක් අත්කර දුන් විශිෂ්ට ක‍්‍රීඩකයන්ගේ චරිතයට කළු පැල්ලමක් එක්වීමක් පමණක් යැයිද කියා සිටියේය.
එම තරගය යම් හෙයකින් හෝ පාවාදීමක් සිදුව ඇත්නම් ඊට වගකිවයුතු වන්නේ එවක ක‍්‍රීඩා ඇමැති ලෙස ක‍්‍රියා කළ මහින්දානන්ද අලූත්ගමගේ මහතා බවත් එයින් ඔහුට ගැලවීමක් නොමැති බවත් හේරත් මහතා පැවැසීය.
වසර ගණනාවක් ගතව ඇති තත්ත්වයක් තුළ ඔහු මෙවැනි චෝදනාව එල්ල කළේ දේශපාලන අරමුණක් වෙනුවෙන් බවත් හෙතෙම ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.
(Lanka Leads)