Thursday, May 02, 2024
Follow Us
නව එන්නත සාර්ථක වන තෙක් කැනඩාව යළි යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි එරට අගමැති කියයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග කැනඩාවේ පුද්ගලයින් මිලියනයකට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා ව්‍යාපාර සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ට මෙලෙස රැකියා අහිමි වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

නව කොරෝනා වෛරසයට ලබා දෙන එන්නත නිසියාකාරව වැඩි දියුණු කර ආසාදිතයින්ට ලබා දෙන තුරු කැනඩාව යළි යථා තත්ත්වයට පත් නොවනු ඇති බව එරට අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප‍්‍රකාශ කර තිබෙනවා.

නමුත් එන්නත වැඩි දියුණු කර ආසාදිතයින්ට ලබා දීම සඳහා තවත් මාස 18 ක පමණ කාලයක් ගත වනු ඇති බවයි කැනඩා අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී සුව අතට හැරෙමින් පැවතීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැඩි අධීක්ෂණයකට ලක් කෙරෙන බව එරට රජය නිවේදනය කර තිබෙනවා.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා සුව අතට හැරීමේ පළමු අදියරය බැවින් සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහු පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන බවත්, ඔහු මනා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් බි‍්‍රතාන්‍ය රජය නිකුත් කළ ප‍්‍රකාශයේ සඳහන්.

මේ අතර, ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට දහසය ලක්ෂ 5,683 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 95,765 ක්.