තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ ගෙන කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න
— අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
කමිටුවල ගන්නා තීරණ ක්‍රියාත්මක විය යුතු බවත්, එහිදී තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ ගෙන කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
දිරාපත් වන කසළ නිසි ලෙස බැහැර කිරීම, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම සහ වැසි ජලය නිසා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම ආදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.
එක් එක් ආයතන නිර්දේශ ලබා දීමෙන් පමණක් වගකීමෙන් බැහැර වෙන්න බැහැ.
ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් එහි අවසානය පිළිබඳවත් අදාළ ආයතන වගකීම ගත යුතුයි. තනි තනිව තමන්ගේ කොටස පමණක් ඉටු කිරීම වෙනුවට සියලු ආයතන එක්ව සාමූහික තීන්දු තීරණ අරගෙන ක්‍රමවේද සකස් කරමින් පවතින ගැටලු නිශ්චිත කාල සීමාවක් තුළ විසඳීමට කටයුතු කරන්න අවශ්‍යයි.
කමිටුවල සාකච්ඡා කරලා ගන්නා තීරණ ඒ ඒ ආයතන නිසි පරිදි ක්‍රියාත්මක කරන්න. දේශපාලනිකව මේ රජයෙන් නිලධාරීන්ට බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා ඔබ ආරම්භ කරන ව්‍යාපෘති නිසියාකාරව, විධිමත්ව අවසන් කිරීමට වග බලා ගන්න. ව්‍යාපෘති අතරමඟ නතර නොකර අවසානය දක්වාම ක්‍රියාත්මක කරනවා වගේම නිසි අධීක්ෂණය කිරීමත් සිදුකළ යුතුයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනාරච්චි, සමන්මලී ගුණසිංහ, අසිත නීරෝෂන, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.