Thursday, April 18, 2024
Follow Us
සටන් විරාමයක් අභියස ගාසා තීරයේ යළි ගැටුම්

සටන් විරාමයක් සදහා ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවද ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර ඊයේ දිනයේදී ගැටුම් හටගෙන තිබෙනවා. පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලයද පලස්තීන සටන්කාමීන් ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගාසා තීරයේ පවතින ගැටුම් අවසන් කිරීම සදහා සිදුකෙරුණු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සටන් විරාමයක් ඉල්ලමින් ප්‍රංශය, ඊජිප්තුව හා ජෝර්දානය එක්ව එක්සත් ජාතින්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග සිදුකළ දුරකතන ඇමතුමකදී ද ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයකට සහය පළ කර තිබුණා.

කෙසේවෙතත් ඊයේ දිනයේ දෙපාර්ශවය අතර යළි ගැටුම් ඇතිවීම හේතුවෙන් සටන් විරාමයක් ඇති කර ගැනීමේ අවස්ථාවන් ඇහිරී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉකුත් 10 වනදා සිට ඇති වූ ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 218 දෙනෙකු මියගොස් 1,500 ක් පමණ තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායලයේ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Neth)