Sunday, April 28, 2024
Follow Us
ජනපති WHO ප්‍රධානියා සමග සාකච්ඡාවක

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනෝම් මහතා සමග වීඩියෝ සාකච්ඡාවක නිරත වූ බවත් එහිදී ලංකාවට අවශ්‍ය AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ 6 පිළිබඳව සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයාගේ නිළ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ඒ අනුව එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා වන එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපුරා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සාහ කරනු ඇතැයි, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාසය පළ කර ඇත.

එසේම ගෝලිය වශයෙන් දෙවන එන්නත ලබාදීම සඳහා මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ඇත.

මේ අතර Sinopharm කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා තවත් දින 2-3 කින් අනුමැතිය ලබා දීමට හැකි වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ අනුව දැනට මෙරට සතු Sinopharm එන්නත් මාත්‍රා 600,000 මෙරට ජනතාවට ලබා දීම කඩිනමින් ආරම්භ කළ හැකිවනු ඇති බවය.

තවද කොරෝනා පළමු රැල්ල පාලනය කිරීම පිළිබඳව ජනාධිපතිවරයාව පැසසුමට ලක් කර ඇති අතර මේ වනවිට වැඩිවෙමින් පවතින වසංගත ව්‍යාප්තිය කඩිනමින් පාලනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

(Aruna)