Thursday, November 05, 2026
Follow Us
මත්ද්‍රව්‍යවලින් ජාතිය මුදා ගැනීමේ සටනට එක්වන්නැයි ජනපති ආගමික නායකයන්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජය තුළ අවශ්‍ය මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයන්ට සහ ආගමික සංස්ථාවන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම සහ ආගමික සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ අද රට හමුවේ පැහැදිලි කණ්ඩායම් දෙකක් සිටින බවයි. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ කල්ලි සමඟ ගොඩනැඟුණු අපරාධ රාජ්‍යයට සහාය දක්වන පිරිස සහ ඊට එරෙහිව සිටින පිරිස බවද ඔහු පැවසීය.

ජාති, ආගම් සහ වයස් භේදයකින් තොරව දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාත්, සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ආගමික සංස්ථාවන් ඇතුළු සමාජයේ සියලු ස්ථර වෙතත් විෂ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වී ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති පුළුල් ජාතික වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ අතර, “රටම එකට” ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk දියත් කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.