Wednesday, November 04, 2026
Follow Us
හෙද ක්ෂේත්‍රයේ ලොව ඉහළම සම්මානයෙන් මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය මහතා පිදුම් ලබයි
විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුබපැතුම්.
හෙද ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමින් පිරිනමනු ලබන ඉහළම ගෝලීය ඇගයීමක් වන ‘ප්‍රින්සස් ශ්‍රීනගරින්ද්‍ර සම්මානය - 2026’ (The Princess Srinagarindra Award 2026) ශ්‍රී ලාංකික මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා හට මෙවර පිරිනමා ඇත.

 

සම්මාන ලාභී මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිල වශයෙන් හමු වී ඒ පිළිබඳ දැනුවත් කරන ලදි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් මහාචාර්යවරයා ලැබූ මෙම විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් රජයේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුබපැතුම් එක් කරන ලදී.
 
2026 සැප්තැම්බර් 9 වන දින තායිලන්තයේ මහා චක්‍රී සිරින්ධෝන් කුමරියගේ (Princess Maha Chakri Sirindhorn) ප්‍රධානත්වයෙන් රැස්වූ සම්මාන පදනම් කමිටුව විසින් මෙම තේරීම සිදු කරන ලද අතර, අදාළ නිල සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 28 වන දින තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මහා මාලිගාවේදී (Grand Palace) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.
 
මෙම සහතිකය, මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය මහතා විසින් හෙද අධ්‍යාපනය නංවාලීම සඳහා දක්වන ලද දුරදක්නා නායකත්වය, සුවිශේෂී දායකත්වය මෙන්ම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා ඉටුකළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් පිරිනමා ඇත.
 
මෙම ගෝලීය සම්මානය තායිලන්තයේ හිටපු භූමිබෝල් අදුල්යදේජ් රජුගේ මෑණියන් වන ශ්‍රීනගරින්ද්‍ර රාජකුමාරියගේ 100 වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් වසර 2000 දී ස්ථාපිත කරන ලද්දකි.
ලොව පුරා විසිරී සිටින හෙද වෘත්තිකයන් අතරින් වසරකට එක් අයෙකුට හෝ කණ්ඩායමකට පමණක් හිමිවන මෙම අතිශය සීමිත සහ කීර්තිමත් සහතිකය සඳහා මෙවර අත්සන් තබා ඇත්තේ පදනමේ සභාපතිනි, තායිලන්තයේ මහා චක්‍රී සිරින්ධෝන් රාජකුමාරියයි.
 
මෙම සුවිශේෂී හමුවේදී අදහස් දැක්වූ ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමිවීම රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් අභිමානයක් බවයි.
මෙරට හෙද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහාචාර්ය වර්ණකුලසූරිය මහතා ලබාදෙන නායකත්වය අමාත්‍යවරයාගේ ඇගයීමට ද මෙහිදී ලක්විය.
 
මහාචාර්ය ආචාර්ය සුදත් මහතා, ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය සහ හෙද වෘත්තිය සංවර්ධනය කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ, දුරදක්නා නුවණැති නායකයෙකි. ඔහු මෙම ක්ෂේත්‍රයන් වඩාත් උසස් මට්ටමකට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ඔසවා තැබීමට කටයුතු කර ඇත.
 
උසස් අධ්‍යාපන මට්ටමින් 'හෙද විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලා' (Bachelor of Nursing Science) හඳුන්වා දීමටත්, පශ්චාත් උපාධි (මාස්ටර් සහ ආචාර්ය උපාධි) පාඨමාලා ස්ථාපිත කිරීමටත් ඔහු වැදගත් දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව, මානසික සෞඛ්‍යය සහ මනෝචිකිත්සක හෙද සේවාව (psychiatric nursing) සම්බන්ධ වැඩසටහන් දියත් කිරීම තුළින්, හෙද වෘත්තිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරව ද හෙද වෘත්තිය පිළිබඳ පිළිගැනීම වැඩි දියුණු කිරීමටත් ඔහු කටයුතු කර ඇත.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී. සමන්මලී යන මහත්ම මහත්මීන් සහ හෙද වෘත්තිකයින් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.