Tuesday, September 22, 2026
Follow Us
කොළොන්නාවේ අලුතින් ඉදිකරන තෙල් ටැංකි වසරක් ඇතුලත මෙහෙයුම් කටයුතුවලට
කොළොන්නාව තෙල් ගබඩා සංකිර්ණයේ අලුතින් ඉදිකරනු ලබන තෙල් ටැංකි සමුහය වසරක් ඇතුලත මෙහෙයුම් කටයුතු සදහා යොදා ගැනීමට රජයේ අවධානය යොමුකරන බව වරාය, ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා ඊයේ (21) ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව තුළ නිරික්ෂණ චාරිකාවකට සහභාගිවෙමින් ප්රකාශකර සිටි.
එහිදි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබු තෙල් ටැංකිවල වත්මන් ප්රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ නව තෙල් ටැංකි 6ක් ඉදිකිරීමේ කටයුතු 2025 සැප්තැම්බර් 17 දින ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙහිදි පැවැති ප්රගති සමාලෝචන හමුවේදි නිලධාරීන් විසින් අමාත්යවරයාට පෙන්වා දුන්නේ මේ වන විට ඉදිකිරීම් කටයුතු සියයට 40-45% ප්රමාණයකින් අවසන් අතර 2027 වසරේ සැප්තැම්බර් මස වන විට අපේක්ෂිත ලෙස ව්යපෘතීය මෙහෙයුම් කටයුතු සදහා යොදා ගත හැකිවන බවයි.
මෙරට ඉන්ධන සංචිත ධාරිතාව සහ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන මෙම ව්යාපෘතියේ සම්පුර්ණ පිරිවැය රුපියල් බිලියන 3.7ක් වේ. ඝන මීටර 15,000 බැගින් වූ ටැංකි 03 ක්, ඝන මීටර 7,000 බැගින් වූ ටැංකි 02 ක්, ඝන මීටර 5,000 බැගින් වූ ටැංකි 01 ක් ඇතුළුව ටැංකි 06ක් පද්ධතියට අලුතින් එකතුවේ. ඒ අනුව සමස්ත ව්යාපෘතිය මඟින් ඝන මීටර 64,000 ක (64,000 m) අතිරේක ගබඩා ධාරිතාවක් එකතු වේ.
තෙල් ටැංකි ඉදිකිරීමේ ව්යාපෘති ට සමගාමිව සහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද නියමිතය. කොලොන්නාව පර්යන්තයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තෙල් ප්රතිසාධන පද්ධති (Oil Recovery System) වැඩිදියුණු කිරීමේ සහ නව පිරවුම් පහසුකම් කලාප (Filling Facilities Zone) සංවර්ධනය කිරීම සහ නවීන තාක්ෂණික ක්රමවේද අනුව තෙල් නළ මාර්ග ඉදිකිරීම සහ ප්රතිසංස්කරණය කිරීමට නියමිතය.
ස්ථානභාර නිලධාරීන් සඳහා නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ලක්, ඉංජිනේරු කාර්යාල ගොඩනැගිල්ලක් ඇතුළු සේවක, නිලධාරි අවශ්යතා වෙනුවෙන් භෞතික සම්පත් සංවර්ධනය කිරීමට මෙම ව්යාපෘතීය තුලින් බලාපොරොත්තු වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා එම ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.