Monday, September 14, 2026
Follow Us
කොකේන් කැප්සියුල 13ක් ශරීරය තුළ සඟවාගෙන ආ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ උගන්ඩා ජාතිකයෙකු ඊයේ (13) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර, වෘත්තියෙන් ගොවියෙකි. ඔහු උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට සැප්තැම්බර් 12 වනදා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර, අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන ගුවන් යානයෙන් අද අලුයම කොළඹට පැමිණ තිබේ.

බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණ මත පදනම්ව වැඩිදුර පරීක්ෂාව සඳහා මෙම මගියා තෝරාගෙන ඇති අතර, සිදු කළ පරීක්ෂණ හා විමර්ශනවලදී ඔහු විසින් ගිල දමා ශරීරය තුළ සඟවා තිබූ කොකේන් අඩංගු කැප්සියුල 13ක් සොයාගෙන ඇත.

එම කැප්සියුලවල අඩංගු මත්ද්‍රව්‍යවල මුළු දළ බර ග්‍රෑම් 161කට ආසන්න වන අතර, එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 7.245ක් පමණ වේ.

සැකකරු විසින් තවත් මත්ද්‍රව්‍ය අඩංගු කැප්සියුල ගිල දමා ඇති බවට සැක පළවීම හේතුවෙන්, අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ආරක්ෂක හා නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට සිදු කෙරෙමින් පවතී.

වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.