මෙරටට බලපාන ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්යය, ආරක්ෂාව තහවරූ කිරීමට මෙන්ම එවැනි අවස්ථාවන්හිදී අවශ්ය සෞඛ්ය මැදිහත්වීම් කඩිනමින් ක්රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඇමෙරිකානු ඩොලර් 250,641 ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් ඊයේ (11) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම මානූෂීය ආධාර තොගය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine), ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු නියෝජ්ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් (Phuntsho Wangyel) යත මහත්ම මහත්මීන් විසින් පවුල් සෞඛ්ය කාර්යාංශයේදී භාරදෙන ලදී.
මෙම විශේෂිත මානූෂීය ආධාර වැඩසටහන සඳහා ඕස්ට්රේලියානු සහ නවසීලන්ත රජයන් විසින් මූල්යමය දායකත්වය ලබාදී ඇති අතර, ආපදා තත්ත්වයන්හිදී විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන් වෙත අවශ්ය සෞඛ්ය, සනීපාරක්ෂක හා ආරක්ෂණ පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
මෙම හදිසි ආපදා මානූෂීය ආධාර තොගයට ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08 ක්, ඒ අතර සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03 ක්, පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල (Midwifery Go-Bags) 999 ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල (Maternity Kits) 1,283 ක්, වැඩිහිටි කට්ටල (Elderly Kits) 246 ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා වන කට්ටල (Dignity Kits) 1,659 ක් ඇතුළත් වේ.
හදිසි ආපදා මානූෂීය ආධාර තොගය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා , ශ්රී ලංකාව ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණදෙන රටක් වන බවත් ලෝකයේ බොහෝ රටවල ජනතාවද විවිධ ස්වභාවික ආපදා හේතුවෙන් දැඩි බලපෑම්වලට ලක්වන බව පැවසීය.
නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය මෙන්ම ඉන්දුනීසියාවේ සිදුවූ ගිනිකඳු පිපිරීමද සිහිපත් කළ අමාත්යවරයා, ගංවතුර, නායයෑම් ඇතුළු විවිධ ස්වභාවික ආපදා හේතුවෙන් රටවල් රැසක ජනතාවට දැඩි අභියෝගයන්ට මුහුණදීමට සිදුවන බවත්, ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්යයක් වන ශ්රී ලංකාවටද විවිධ ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවන බවත් පැවසීය.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවද එවැනි හදිසි ආපදා තත්ත්වයකට උදාහරණයක් බව පෙන්වා දුන් අමාත්යවරයා, ස්වභාවික ආපදාවකින් සිදුවිය හැකි සමස්ත හානිය පිළිබඳව පූර්වයෙන් සම්පූර්ණයෙන් පුරෝකථනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බවද සඳහන් කළේය.
එබැවින් ආපදා තත්ත්වයක් උද්ගත වූ පසු ඊට ප්රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, ආපදාවකට පෙර අවශ්ය සම්පත්, මානව සම්පත් සහ පහසුකම් සූදානම් කර තැබීම අත්යවශ්ය බව අමාත්යවරයා අවධාරණය කළේය. එවැනි විධිමත් ආපදා පෙර සූදානමක් තුළින් මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමටත්, ආපදාවෙන් දිවි බේරාගත් ජනතාවට ඔවුන්ගේ ජීවිත යළි ශක්තිමත් කරගන්නා තුරු අවශ්ය කෙටිකාලීන සෞඛ්ය හා මානූෂීය පහසුකම් කඩිනමින් සලසාදීමටත් හැකියාව ලැබෙන බවද අමාත්යවරයා පැවසීය.
විශේෂයෙන්ම ආපදා අවස්ථාවකදී කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල සෞඛ්ය හා ආරක්ෂණ අවශ්යතා නොසලකා හැරිය නොහැකි බැවින්, එම අවශ්යතා සඳහා ප්රතිචාර දැක්වීමට අවශ්ය පහසුකම් සහ සම්පත් පූර්වයෙන් සූදානම් කර තැබීම සෞඛ්ය පද්ධතියේ ආපදා ප්රතිචාර ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවද පෙන්වා දුන්නේය.
මෙම පරිත්යාගය සඳහා මූල්යමය දායකත්වය ලබාදෙමින් මෙරට ආපදා පෙර සූදානම සහ සෞඛ්ය සේවා ප්රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු රජයටත්, නවසීලන්ත රජයටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් ශ්රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කිරීමටද අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කටයුතු කළේය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ මෙහෙයවීම යටතේ මෙම විශේෂිත හදිසි ආපදා මානූෂීය ආධාර තොගය ආපදා අවදානම ඉහළ දිස්ත්රික්කවල උපායමාර්ගිකව පෙර ස්ථානගත කිරීමට (pre-position) නියමිතය. එමඟින් ආපදා අවස්ථාවකදී මාර්ග විනාශවීම් හෝ ප්රදේශීය යටිතල පහසුකම් බිඳවැටීම් හේතුවෙන් ඇතිවිය හැකි ප්රවාහන ප්රමාදයන් අවම කරමින්, හදිසි අවස්ථාවන්හිදී ක්ෂණිකව මැදිහත්වන සෞඛ්ය වෘත්තිකයන්ට අවශ්ය උපකරණ හා සම්පත් අදාළ ප්රදේශ තුළදීම ලබාගැනීමටත්, ජනතාව වෙත අත්යවශ්ය හදිසි සෞඛ්ය සේවා කඩිනමින් සැපයීමටත් හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ , අතිරේක ලේකම් විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය වින්ද්යා කුමාරපේලි , පවුල් සෞඛ්ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්ය චන්දිම සිරිතුංග යන මහත්ම මහත්මීන් ඇතුළුව අංශ ප්රධානීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.