Monday, September 07, 2026
Follow Us
ශ්රී ලාංකේය රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ කෘත්රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය උපායමාර්ගිකව හා වගකීම්සහගතව ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂ සංවාදයක්, "Artificial Intelligence and Digital Transformation in Higher Education" යන තේමාව යටතේ නියෝජ්ය උපකුලපතිවරුන්ගේ සහ උපකුලපතිවරුන්ගේ මණ්ඩල (CVCD) සම්මේලනයට සමගාමීව පසුගියදා (04) කොළඹ විශ්වවිද්යාල පරිශ්රයේ දී පැවැත්විණ.
මෙම විශේෂ සංවාද සභාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න මහතා ප්රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් සම්මත කරන ලද ජාතික AI ප්රතිපත්ති රාමුව ප්රායෝගිකව ක්රියාත්මක කිරීම සහ උසස් අධ්යාපන පද්ධතිය ජාතික ඩිජිටල් ආර්ථිකයට සමගාමීව ප්රතිසංස්කරණය කිරීම සඳහා උපකුලපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ පාලක මණ්ඩලය සක්රීයව දායක කරගැනීම මෙහි ප්රධාන අරමුණ විය.
මෙ හිදී අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේ, විශ්වවිද්යාල හුදෙක් විදේශීය තාක්ෂණයන් භාවිත කරන්නන් පමණක් නොව, දේශීය ගැටලුවලට දේශීය තාක්ෂණික විසඳුම් නිෂ්පාදනය කරමින් ජාතික ඩිජිටල් ආර්ථිකය සක්රීයව බලගන්වන පාර්ශ්වකරුවන් බවට පත්විය යුතු බවයි.
සංවාද මණ්ඩපයේ දී 2026 ජූනි 24 දින UGC අනුමැතිය ලත් ජාතික AI ප්රතිපත්ති රාමුව සහ 2026 සිට 2029 දක්වා ක්රියාත්මක කිරීමට නියමිත තෙවසරක ජාතික සැලැස්ම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කෙරිණ.
2026 දෙසැම්බර් 31 වන විට සෑම රාජ්ය විශ්වවිද්යාලයක්ම සිය ආයතනික AI ප්රතිපත්ති සහ සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) සකස් කරගත යුතු බවට මෙහි දී යෝජනා වූ අතර, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම, සයිබර් ආරක්ෂාව, AI Maturity Index (AIMI) හරහා ප්රගතිය මැනබැලීම සහ අඩු පහසුකම් සහිත විශ්වවිද්යාල සඳහා පොදු ඩිජිටල් යටිතල පහසුකම් හා LMS පද්ධති ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නලක කළුවැව මහතා සහභාගී වූ අතර, මහාචාර්ය රොෂාන් රාගෙල් මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු පැනල සංවාදය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, Dialog Axiata හි ප්රධාන AI නිලධාරී හා ජාතික AI උපදේශක කමිටුවේ සභාපති රොමේෂ් රණවාන, UGC AI ප්රතිපත්ති කමිටුවේ සම සභාපති මහාචාර්ය වජිර H. W. දිසානායක යන මහත්වරුන් අදහස් දැක්වූහ. මීට අමතරව දිවයිනේ සියලුම රාජ්ය විශ්වවිද්යාලයන්හි උපකුලපතිවරුන් ඇතුළු උසස් අධ්යාපන ක්ෂේත්රයේ ප්රමුඛ පාර්ශ්වකරුවන් රැසක් එක්විය