විපක්ෂයේ දෝෂාභියෝගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට අවස්ථාවක් කරගන්නවා.
- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කරමින් අද (08) දින මහනුවර දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අනතුරුව සියලු මොඩියුලවල මුද්‍රිත පිටපත් මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
අද (08) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැදැක, 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පළමු වාර මුද්‍රණයේ සිදුව ඇති දෝෂය පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
අධ්‍යාපනය යනු සංවේදී විෂයයක් බවත්, එවැනි කාරණාවලදී වඩාත් සංවේදීව හා නිවැරදි අධීක්ෂණයකින් කටයුතු කළ යුතු බවත් මහා නාහිමියෝ මෙහිදී වදාළහ. එමෙන්ම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යන ලෙස ද උන්වහන්සේ අනුශාසනා කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් බැහැදැක ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලි කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාලීන අවශ්‍යතාවක් වන අතර ඒවා විධිමත් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව සිදු කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ ගැටලු පවතින බව සමාජ මාධ්‍ය තුළ AI (කෘතිම බුද්ධිය) වැනි නවීන ක්‍රම භාවිත කරන ආකාරයෙන් පැහැදිලි වන බවත් නාහිමියෝ පැවසූහ.
මහා නාහිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය:
"මේ ගැටලුව පිළිබඳ සොයා බැලීමට අප කමිටුවක් පත් කළා. පසුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත අදාළ පාඩම ඉවත් කිරීමට කටයුතු කළා සේම, එම මොඩියුලයේ සියලු මුද්‍රිත පිටපත් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා. කිසිදු මොඩියුලයක් පාසල් දරුවන් අතට පත් වී නැහැ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය මඟින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබෙනවා."
එමෙන්ම තාක්ෂණය භාවිත කිරීමේදී ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ කීවාය:
"විපක්ෂය මේ ජාතික කාර්යයත් තමන්ගේ දේශපාලන වාසියට යොදා ගනිමින් සිටිනවා. නමුත් මතුව ඇති ගැටලු පිළිබඳව සමාජයේ බොහෝ දෙනා අදහස් දක්වන්නේ ධනාත්මකව, වැරදි නිවැරදි කිරීමේ අරමුණින්. සිදුව ඇති වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. විපක්ෂය ගෙන එන දෝෂාභියෝගය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් කර ගන්නවා."
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාරි ජයසිංහ, තනුර දිසානායක, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ලංකා ගුරු සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ඩී.ඩී. විමලවීර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.