ශ්‍රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව ලෝක මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමේ ගමන් මගෙහි තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට විශාලතම මැණික් වෙළඳ සංගමය වන Ceylon Gem and Jewellery Traders Association විසින් මෙම ප්‍රමුඛතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය “Gem Sri Lanka 2026” ප්‍රදර්ශණය තෙවන වරටත් සංවිධානය කරනු ලබයි.
ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, චීනය, ඉතාලිය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව, රුසියාව, ජර්මනිය ඇතුළු රටවල් 50 ක ප්‍රමුඛ පෙළේ ගැණුම්කරුවන් 2000 කට අධික පිරිසක් එක්ව සිටින “Gem Sri Lanka 2026” ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශණය 7,8 හා 9 යන තෙදින පුරා පැවැත්වෙන අතර වෙළඳ කුටි 110 කින් සමන්විත වෙයි.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ලබාදෙන සුවිශේෂි දායකත්වය අගය කළ අතර ශ්‍රී ලංකාවේ මැණික් සදහා ලොව පුරා පවතින කීර්තිනාමය තවදුරටත් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වාදුන්නාය.
එසේම නවීන ව්‍යවසායකත්ව ප්‍රවේශයන් සහ තිරසාර ක්‍රමවේද ඔස්සේ මෙම කර්මාන්තය ජාත්‍යයන්තර මට්ටමට ඔසවා තැබීමට රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලාංකීය ශිල්පීන්ගේ දක්ෂතා සහ මෙරට ඇති ස්වභාවික සම්පත් ලෝකයට හදුන්වාදීම සඳහා මෙවැනි ප්‍රදර්ශනයන් මනා පිටුවහලක් වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ උරුමය, නිර්මාණශීලිත්වය සහ ගෝලීය පිළිගැනීම විදහා දක්වන Gem Sri Lanka විසින් ප්‍රකාශයකට පත්කරන ලද The Sri Lankan Sapphire Legacy සඟරාව නිල වශවයන් එළිදැක්වීමද මෙහිදී සිදුවිය.
මෙම “Gem Sri Lanka 2026” ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට, විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, Ceylon Gem and Jewellery Traders Association හි සභාපති Rizwan Nayeem , උප සභාපති Hilmy Cassim, රාජ්‍ය නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ජාත්‍යයන්තර නියෝජිතයින්, ගැණුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.