Thursday, January 08, 2026
Follow Us
දැනට අතහැර දමා තිබෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයක්
දැනට අතහැර දමා තිබෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ඊයේ (06) එහි නිරීක්ෂණයක නිරත විය.

 

2016 වසරේ ආරම්භ කළ මෙම ව්යාපෘතියේ මූලික කටයුතු අවසන් වීමට තිබුණේ 2019 වර්ෂයේදීය. විවිධ හේතු කාරණා නිසා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති අතර දැනට කිසිදු ප්රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබෙන මෙම ව්යාපෘතිය පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය විශේෂ අවධානය යොමු කළේය. එහි ප්රතිඵලයක් ලෙස මිල්කෝ සභාපති ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම කිරි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමේ මූලික පියවරක් ලෙස මෙහි ගොඩනැඟිලි ඇතුළු යන්ත්රසූත්ර නිරීක්ෂණය කෙරිණි.
 
මෙම අවස්ථාවට එක්වෙමින් මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා බඩල්ගම කිරි කර්මාන්තශාලාව සහ මිල්කෝ සමාගමේ ඉදිරි ඉලක්ක සම්බන්ධයෙන් සිය අදහස් එක් කළේය.
 
“අද අපි මේ ඉන්නේ ඉතාම සුවිශේෂී තැනක. අපේ පසුබිමෙන් පේන්නේ අපේ රටේ ජාතික ධනය රුපියල් බිලියන 18ක් වියදම් කරලා අත් හැරලා තියෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාව. මිල්කෝ සමාගම 2025 අවුරුද්ද ගත්තහම අපි නැවත වතාවක් ලංකාවේ ජාතික ආර්ථිකයට ඉතාමත් හොඳ දායකත්වයක් දෙමින් සම්පූර්ණයෙන්ම නැවත ව්යාපාරික කටයුතු හොඳ මට්ටමකට ගෙනල්ලා ඉතිහාසයේ වැඩිම ආදායම සහ වැඩිම ලාභය වාර්තා කළා. ඒ 2025 වර්ෂයේ අපේ ඉලක්කයන්. හැබැයි අපි 2026 වර්ෂයට එන්නේ තවත් සුවිශේෂී අභියෝගයක් කරේ තියාගෙන. ඒක තමයි 2026 අපේ විශේෂිතම ඉලක්කය. මෙන්න මේ අතහැරලා දාලා තිබුණු රුපියල් බිලියන 18ක ජාතික ධනය වියදම් කරලා පැත්තකට කරලා තිබුණු බඩල්ගම කිරි කර්මාන්තශාලාව නැවත වතාවත් මේ කිරි නිෂ්පාදන කර්මාන්තයට අරගෙන එන එක. අපේ රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් මේ කර්මාන්තශාලාව ප්රයෝජනයට ගත හැකි මට්ටමට වැඩි දියුණු කරලා ඉස්සරහට ගන්න එක.මේක තමයි 2026 අවුරුද්දේ මිල්කෝ සමාගමේ ප්රධාන අභියෝගය. මේ සඳහා අපිට රජය විසින් අපට ජනාධිපතිතුමා රුපියල් බිලියන 3ක ප්රතිපාදන අපට ලබා දීලා තියෙනවා. එතන ප්රතිපාදනවලින් අපි හිතනවා මේ කර්මාන්තශාලාව නැවත ක්රියාත්මක තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා.
 
මේක කිරි ලීටර් ලක්ෂ 2ක් දවසකට සකසන්න පුළුවන් අති නවීන කිරි කර්මාන්තශාලාවක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා 2027 අවුරුද්දේ මුල් භාගය ඇතුළත වෙනකොට සම්පූර්ණයෙන් ප්රතිසංස්කරණ කටයුතු නිම කරන්න. අපි මේ 2019 ඉවර කරන්න දුන්න කිරි කර්මාන්තශාලාවක් මේ දක්වා ඇදගෙන ගිය එක ඇතුළේ අපට වෙලා තියෙන පාඩුව ගත්තොත් අවුරුද්දකට අපි පොළිය විතරක් රුපියල් බිලියනයකට වැඩිය ජාතික ධනය නාස්ති කරනවා. එක කිරි බිංදුවක්වත් සකසන්නේ නැතිව. මේ නිසා මේ අපරාධය හැකි ඉක්මනින්ම නිවැරදි කරන්න ඕනේ. ඒ සඳහා මගේ අධ්යක්ෂ මණ්ඩලය සහ අපේ ඉහළ කලමනාකාරීත්වය ඇතුළු සියලුදෙනා එකතු වෙලා සාමූහිකව මැදිහත් වෙනවා මේක හැකි ඉක්මනින් නිවැරදි කරන්න. ”