Saturday, September 14, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන “සොබාදනවි” විවෘත කෙරේ

1977 ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත් කරගත් අයුරින් ඉදිරි දශකය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතින බවත්, යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද එක්වීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකවීම සඳහා අත්‍යාවශ්‍ය මෙරට විදුලිබල සැපයුම් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වන ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාධනවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

අද ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම අදියර විශ්වාසනීය විදුලි ප්‍රභවයක් සපයමින් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත. මෙම අදියර ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.
සෝබාධනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානමින් සිටියි. ඒ අනුව මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ. සංයුක්ත චක්‍ර ක්‍රියාවලිය මගින් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවට සහ වක්‍රව මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබේ.

සමරු ඵලකය නිරාවරණය කර “සොබාදනවි” බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරීමට ද එක වූ අතර අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියේය.

විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බවත්, ඒ තුළ ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම බලාගාරය ඉදිකිරීම පිළිබඳව මම එල්ටීඑල් (LTL) සමාගමට ප්‍රශංසා කරනවා. එල්ටීඑල් (LTL) සමාගම විසින් මේ වන විට අප රට තුළ බලාගාර රාශියක් ස්ථාපිත කර තිබෙනවා. එහිදි එල්ටීඑල් (LTL) සමාගම ලබාගෙන තිබෙන සාර්ථකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. මෙම ව්‍යාපෘතිය ඔබ අත්කර ගෙන ඇති ජයග්‍රහණවල අලුත්ම ජයග්‍රහණය බව කිවයුතුයි.

2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අපගේ විශේෂඥතාව වැඩි වන තරමට, ආසියානු කලාපය තුළ මෙන්ම අප්‍රිකාව තුළ අපගේ සාර්ථකත්වය පිළිබඳ පවතින අවස්ථා වැඩි වෙනවා.

සෝබාධනවි බලාගාරය මෙගාවොට් 350ක් උත්පාදනය කරන ශ්‍රී ලංකාව සතුව පවතින වැදගත් බලාගාරයක් බවට පත් වෙනවා. අප දැන් ආර්ථික සංවර්ධනයේ නව අදියරක් ආරම්භ කර තිබෙනවා. විදුලිබලය සහ බලශක්තිය නොමැතිව මෙම සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි. එනිසා අප ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
දිවංගත ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දීමත්, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඒ අනුව ඉදිරියට ගොස් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය ඉදිකිරීමත් අප ලද භාග්‍යයක් වුණා. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ නිදහස් වෙළඳ කලාප සඳහා අතිරික්ත විදුලිය ලබාදුන් මහවැලි සහ

සමනලවැව ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම විදුලිබලය නොමැතිව ඇඟලුම් කර්මාන්තය දියුණු කළ නොහැකියි.

අප ජල විදුලිය මත යැපීමේ අවසානය කරා ළඟා වන විට, ගෝලීය දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සමඟ සමපාත වන නව බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය මීළඟට ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතිනවා. යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද අප එක්විය යුතුයි. අනාගතය මෙයයි. ඒ අනුව 1977 ආණ්ඩුවේ පාලනය යටතේ ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්තික වර්ධකය බවට පත් කරගත් ආකාරයට, ඉදිරි දශකය සඳහා අපගේ වර්ධක අංශය බවට පුනර්ජනනීය බලශක්තිය පත්විය යුතුයි.

බලශක්ති ක්ෂේත්‍රය මෙම වර්ධනය තුළ සැලකිය යුතු අංශයක් බවට පත්වෙනවා. අප සතුව ඇති දේ උපරිමයෙන් යොදා ගත යුතු අතර හරිත හයිඩ්‍රජන් පිළිබඳ අප මීළඟට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි.

ඔස්ට්‍රේලියාව හරිත බලශක්තිය පිළිබඳ ලොව සුපිරි බලවතෙකු වීමට කටයුතු කරමින් සිටිවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා අපේ රටට ගිගාවොට් 50ක පමණ ශක්තියක් පවතිනවා. මෙම ශක්තිය භාවිතා කිරීම වැළැක්වීම සඳහා එල්ලවන බාධකවලට අප ඉඩ නොතැබිය යුතුයි.

බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ඒවා කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමත් කළ යුතුයි. මෙම ප්‍රවේශය පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව හරිත හයිඩ්‍රජන් වලින්ද අපගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කිරීමට හේතුවෙනවා.

අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂයෙන්ම නාවික හමුදාවට හරිත හයිඩ්‍රජන් භාවිත කිරීමට හැකි නම් ඒ තුළ ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් මගින් බල ගැන්වෙන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වන ආකාරය පිළිබඳ සිතා බලන්න. බලශක්තිය සඳහා පමණක් නොව තාක්ෂණික දියුණුව සඳහා ද බලශක්ති අංශය සතුව විශාල හැකියාවක් තිබෙනවා.

අප සියලු ක්ෂේත්‍ර සමඟ තාක්ෂණය ඒකාබද්ධ කළ යුතුයි. එහිදී අපට දක්ෂ ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් ද අවශ්‍ය වෙනවා. අප සතුව සිටින හොඳම අයගෙන් බොහෝ දෙනෙක් රට හැර යමින් සිටින නිසා රජය නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අපට චෙන්නායි IIT හි මණ්ඩපයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ගලහ ප්‍රදේශයේ ආරම්භ කිරිමට නියමිත මෙම මණ්ඩපය අවසානයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු තාක්ෂණ විශ්වවිද්‍යාලය කුරුණෑගලින් ද, දෙවැන්න සීතාවක හෝ කිතුල්ගල ප්‍රදේශයේත්, තුන්වැනි විශ්වවිද්‍යාලය සියනෑ කෝරළයේ ද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අපට යොදාගත හැකි ස්ථාන පිළිබඳ සොයාබලමින් සිටිනවා.

මෙම උසස් අධ්‍යාපන ආයතන හතර ඇතුළුව, පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ද පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන අතර මේ සියල්ල අනෙකුත් ආයතන සමඟ ද එක්ව අපව අනාගතය සඳහා සූදානම් කරනවා. තාක්ෂණයෙන් ඔබ්බට යමින් අප කෘතිම බුද්ධිය සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. තාක්‍ෂණ සංවර්ධන පනත් කෙටුම්පත ද ඉක්මනින් සම්මත වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

අප තාක්ෂණය, හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව නව වර්ධන යුගයකට සූදානම් වන්නේ එවිටයි. මම තවත් ඔබේ කාලය වැය කරන්නේ නැහැ. ඔබගේ සියලු උත්සාහයන්ට මා සුබ පතනවා.