Tuesday, September 17, 2024
Follow Us
ඇල්පිටියේ මැතිවරණයට දිරිපත් කළ නාමයෝජනා 2ක් ප්‍රතික්ෂේප වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය“ සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පැවැසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාර ගැනීම අද (12 වැනිදා) මධ්‍යහ්න 12 න් අවසන් විය.

නාමයෝජනා පත්‍රයේ සාමදාන විනිශ්චයකරුවකු අත්සන්කර නොතිබීම, තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම යන කාරණය මත ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.

නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව ඇතුළත්කර නොතිබීම, නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් ඇතැම් අපේක්ෂකයන්ගේ අත්සන් යොදා නොතිබීම, සාමදාන විනිශ්චකාරවරයකුගේ අත්සන යොදා නොතිබීම, තරුණ හා කාන්තා නියෝජනය ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම නිසා ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කෙරුණු බවද තේරීම්භාර නිලධාරිවරයා පැවැසීය.

මේ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කිරීමට අදාළව දේශපාලන පක්ෂ අටක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර පිළිගත් බවද තේරීම්භාර නිලධාරිවරයා කීවේය.

මෙම ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීම දේශපාලන පක්ෂ දහයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කළද නාමයෝජනා බාරදීමට පැමිණියේ දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙක පමණක් බවද ඔහු පැවැසීය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර බාරදීමට නොපැමිණි බවද තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේය.

මේ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජනබලවේගය, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, දෙවන පරපුර, ජාතික ජනතා පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීමට නියමිතය.