Saturday, September 14, 2024
Follow Us
IMF සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතල සහ අසාර්ථක ක්‍රියාවලියක්- ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතල සහ කිසිසේත්ම සාර්ථක නොවන ක්‍රියාවලියක් බව විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත මීළඟ වාරිකය මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ලබා දෙන වාරිකද අහිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව 2024 දෙසැම්බර් සිට 2025 ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 1.3 දක්වා මුදලක් මෙරටට අහිමි වන අතර ඒ හේතුවෙන් නැවතත් රට අස්ථාවරත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව ද අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් අමාත්‍යවරයා මෙසේද පැවසීය,

2022 වසරේදී මෙරට තිබූ තත්ත්වය අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදුව තිබුණා. එහිදී පළුඳු වූ විදේශ සබඳතා යළි ගොඩ නඟා ගැනීමටත්,ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය ඇති කර ගැනීමටත් ඒ තුළින් රටේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා කටයුතු කිරීමත් යන අභියෝග අප හමුවේ තිබුණා.
වසර දෙක හමාරකට පසුව මේ රට ස්ථාවරත්වයට පත් කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපට ජාත්‍යන්තරය තුළ අලෙවි කළ හැකි වන්නේ රටේ අභ්‍යන්තර ප්‍රතිඵලයයි. එම ප්‍රතිඵලය ලබා ගැනීමට නායකත්වය ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මෙහිදී සඳහන් කළ යුතුයි.

ජාත්‍යන්තර සබඳතා තුළින් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රටවල් 17ක් සමඟ සාකච්ඡා කර එකඟතාවට පැමිණීමට හැකි වීම අප ලබා ගත් විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. අපගේ විදේශ ප්‍රතිපත්ති, දේශීය අනන්‍යතාව, ස්වෛරීභාවය කිසිදු ආකාරයකින් පාවා දීමකින් තොරව අද අප ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබෙනවා. මේ තරම් ඉක්මණින් ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් අද අප ලෝකයටම ආර්ශයක් වී තිබෙනවා. අද වන විට පාකිස්ථානය, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල් ආර්ථිකය නඟා සිටුවීම සම්බන්ධයෙන් අපගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. මේ රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වය ජාත්‍යන්තරයේ ඇගයුමට ලක් ව තිබෙනවා.

අපේ රට වගේම ආර්ථික අර්බූදයට මුහුණ දුන් ලෙබනනය, වෙනිසියුලාව, ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ සහ ග්‍රීසිය යන රටවල් පහ අතරින් මේ වන විට ආර්ථික අර්බූදයෙන් ගොඩවිත් ඇත්තේ ග්‍රීසිය පමණයි. නමුත් ග්‍රීසියට ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට වසර 12ක් ගත වුණා. ඒ අනුව බලන කළ මෙතරම් කෙටි කළකින් අර්ථික අර්බුදයක් ජයගත් එකම රට ශ්‍රී ලංකාවයි.

නමුත් පටු දේශපාලන අරමුණු ඉලක්ක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බවට විවිධ පුද්ගලයින් ජනතාව නොමඟ යවමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමේ ඉතා බරපතල සහ කිසිසේත්ම සාර්ථක නොවන ක්‍රියාවලිය අත්හදා බැලීමට කිසිවෙකුට අවශ්‍ය නම් ඔහුට “සුභ පැතුම්” එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

2022 මාර්තු මාසයේදී විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා අයදුම් කිරීමේ අභිප්‍රාය අප නිල වශයෙන් දැනුම් දුන්නා. අපට පළමු වාරිකය ලැබුණේ 2023 වර්ෂයේ මාර්තු මාසයේදීයි. ඒ අනුව ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණ (DSA) සඳහා එකඟ වීමට අපට වසරක පමණ කාලයක් ගත වී තිබෙනවා.

ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පරාමිතීන් පහක් යටතේ සිදු වෙනවා. ඊට අනුව දැනට දළ දේශිය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 133% ක පවතින රාජ්‍ය ණය 95%ක් දක්වා අඩු කළ යුතුයි. මීට අමතරව, විදේශ ණය පියවීම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් දැනට වෙන් කර ඇති 9.3% , 4.5% දක්වා අඩු කළ යුතුයි.
එසේම , ප්‍රාථමික අයවැය ශේෂයේ 2.1% ක අතිරික්තයක් තිබිය යුතුයි. ඊට අමතරව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් බදු ආදායමෙන් ලැබිය යුතුයි. මෙම ඉලක්ක දැන් නීතියෙන් තහවුරු කර තිබෙනවා. ඒවා පහසුවෙන් වෙනස් කළ නොහැකියි. එසේ වෙනස් කිරීමට උත්සාහ කරනවා නම් නැවත සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ සඳහා අවම වශයෙන් තවත් වසරක්වත් ගතවනු ඇතියි.

එසේ සිදු වුවහොත්, අයි. එම්. එෆ් විසින් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත ඩොලර් මිලියන 400 ක මීළඟ වාරිකය රඳවා ගැනීමට ඉඩ තිබෙනවා. අයි. එම්. එෆ් විසින් එම වාරිකය නිකුත් නොකළහොත්, ලෝක බැංකුව ද ඩොලර් මිලියන 400 ක වාරිකය රඳවා ගනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ආසියානු සංවර්ධන බැංකුව (ADB) ද ඔවුන්ගේ ඩොලර් මිලියන 500 ක වාරිකය නිදහස් කරන්නේ නැහැ. ඒ අනුව දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 සිට ඩොලර් බිලියන 1.3 දක්වා මුදලක් අපට අහිමි වනවා. එම අරමුදල් අහිමි වීම හේතුවෙන් නැවතත් රුපියල අවප්‍රමාණය වීමත්, උද්ධමනය ඉහළ යාමත් ඇතුලුව, නැවත රට අස්ථාවරත්වයට පත්වීම වැළැක්විය නොහැකියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට ආර්ථික ප්‍රතිසාධනය සම්බන්ධීකරණය කිරීමට සහ ඊට සහාය වීමට පියවර රැසක් ගෙන තිබෙනවා. තවද බහුපාර්ශ්වික වශයෙන් ගෝලීය දකුණ සඳහා ප්‍රමුඛතා ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමටත්, බහුපාර්ශ්වීයික මානව හිමිකම් පිළිබඳ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම ටත් හැකි වී තිබෙනවා. මෙහිදී 2022- 2024 කාලය තුළ කාන්තාවන්ට වෙනස් කොට සැළකීම් පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, සංක්‍රමණික කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ එක්සත් ජාතීන්ගේ කමිටුව,2023-2027 කාලසීමාව දක්වා යුනෙස්කෝ විධායක මණ්ඩලය සහ 2025-2027 කාල සීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය යන එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණ හතරක් සඳහා වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකාව තේරී පත්ව තිබෙන බවද සඳහන් කළ යුතුයි.

අපගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පසුගියදා foreignpolicy.com පළ වූ ලිපියකින් ද ඇගයීමට ලක් කර තිබුණා. ලෝක බලවතුන්ගේ බල අරගලය තුළ කුඩා ස්වෛරී රාජ්‍යයන්ට බලපෑම් එල්ල වී ඇති නමුත් ශ්‍රී ලංකාව ඉතා හොඳින් මෙම තත්ත්වය කළමණාකරණය කරමින් සියලු බලවතුන‍් සමඟ ඉතා හොඳින් කටයුතු කරන බව එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය ඉබේ සිදු වූවක් නොවන බවද කිව යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම, අවබෝධය, අත්දැකීම් මෙන්ම පෞද්ගලික සබඳතාද ඊට ඉවහල් වූ බව කිව යුතුයි. ඕනෑම රටක රාජ්‍ය නායකයෙකුට සෘජුව ඇමතිය හැකි මෙරට සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව කිව යුතුයි.


ඒ වගේම විදේශ සේවය ස්වාධීනව පවත්වා ගෙන යාම සඳහා ජනාධිපතිතුමාගෙන් ලැබෙන උපදෙස් මේ අවස්ථාවේදී සඳහන් කළ යුතු වෙනවා. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමරි මහතාගේ කාලයටත් වඩා ස්වාධීනව, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විදේශ සේවය පවත්වා ගෙන යාමට හැකියාව ඒ තුළින් ලැබී තිබෙනවා.