Saturday, May 04, 2024
Follow Us
18 පැවැත්වූ ජ.වි.පෙ රැළිය ගැන සුමිත්ගේ අදහස්

Lecturer in Political Scuence at Colombo University

අගෝස්තු 18 වනදා ජාතික ජන බලවේගයේ ආකර්ශනීය ජන රැළිය ඉතා වැදගත් දේශපාලන ප්‍රවාදයක් සනාථ කළේය. එනම්, වාමාංශික ජනප්‍රියවාදයකට ලංකාව තුළ ද අවකාශය විවර වී පවතීය යන්නයි. මේ අප පසුගිය කාලයේදී ලංකාව තුළ වාම ජනප්‍රියවාදයක විය හැකියාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරන විට පරිකල්පනය කළ තත්ත්වයම නොවිය හැකිය. නමුත්, "දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාවගේ බලය" යන උදෘතය මත පදනම් වූ ව්‍යාපාර අද ලෝකය පුරාම ස්වකීය අණසක තහවුරු කරගනිමින් තිබේ.


නව-ලිබරල් සංස්ථාපිතය 1990 දශකයේදී විජයග්‍රහණය සැමරුවේ නම්, 2008 න් පසු යුගයේ එය ලොව පුරාම අභියෝගයට ලක් වෙමින් තිබේ. ඒ, එක් අතකින් ට්‍රම්ප් සහ ලපෙන් වර්ගයේ අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ නැගීම විසිනි; අනෙක් අතින්, සැන්ඩර්ස්-කෝබින් වර්ගයේ හෝ පොදෙමොස් වර්ගයේ වාමාංශික ජනප්‍රියවාදයේ නැගීම විසිනි. මේ යුගයේ යුරෝපයේ පමණක් නොව ලොව පුරාම සැරිසරන අවතාරය ජනප්‍රියවාදයේ අවතාරයයි. ලංකාව තුළ ද 2015 ජනවාරියේදී නැවත බලය තහවුරු කරගත් නව-ලිබරල් සංස්ථාපිතය අද මේ දෙපසින්ම අභියෝගයට ලක්ව තිබේ.
වම ජනප්‍රියවාදයේ මොහොත අත්හැරිය හොත්, එය දේශපාලනිකයේ මොහොත ද අත් හැරීමක් වනු ඇත. මේ මොහොත වාම උපායමාර්ගයක් අනුව ග්‍රහණය කරගැනීම සඳහා අප ජවිපෙ-පෙසප ඇතුළු පක්ෂ හා සංවිධාන අයත් පුළුල් වාමාංශික සහයෝගීතාවක් යෝජනා කළේ එබැවිනි. සරලව, ඒ සඳහා ජවිපෙ වමට හැරීමත් පෙසප හෙජමොනික දේශපාලනයට අවතීර්ණ වීමත් අවශ්‍ය බැව් අපගේ අදහස විය.


අප අපේක්ෂා කළ දෙය එලෙසම ඉටු වී නොමැත. අප කොතරම් කුඩා සහ නොවැදගත් පිරිසක්ද? අනෙක් අතට, 1920 දශකයේදී ෆැසිස්ට්වාදයේ අභියෝගයට මුහුණ දීම සඳහා ඉතාලියේ සමාජවාදී පක්ෂයටත් කොමියුනිස්ට් පක්ෂයටත් සමගි වන ලෙස කොමින්ටර්නයේ නායකයින් කළ බලකිරීම් ඒ දෙපක්ෂයම නොතකා හළ බැව් සිහිපත් කරනවිට, ඉතාලියේ විසූ විශිෂ්ටතම න්‍යායික මාක්ස්වාදියා වූ ග්‍රාම්ස්චි පවා එය නොතකා හළ බැව් සිහිපත් කරනවිට, මෙය පුදුමයට කරුණක්ද? අපේ යුගයේ වමට කොමින්ටර්නයක් නැත.

අගෝස්තු 18 ජන රැළියේ අපේක්ෂාවට සුබ පැතීමට අපි කිසිසේත් පැකිළෙන්නේ නැත. හෙජමොනික දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාව ගැන පෙසප ට කලක පටන් අප දුන් පණිවිඩය ඔවුන් කියවාගනු ඇතැයි ද අපි එලෙසම අපේක්ෂා කරමු.
- Sumith Chaaminda