දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍රශීලී ජයග්‍රාහි රටවල් වන ප්‍රංශය, එංගලන්තය, රුසියාව හා එවකට චීනය ලෙස පිළිගත් තායිවානය යන රටවල් එක්ව එක්සත් ජාතින්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදි. පසුව ලොව බොහෝ රටවල් මෙහි සාමාජික රටවල් ලෙස ඊට එකතු වී ය.
ලොව අනෙක් සම බලවතා වූයේ සෝවියට් දේශය යි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුද්ධය මුල් කරගෙන ලොව රාජ්‍යයන් මෙම කඳවුරු දෙකට බැඳී හෝ සමීපව සිටියේ ය. 1990 දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමත් සමඟ ලොව එක ම බලවතා බවට ඇමෙරිකාව පත් විය.
චීනයේ එවකට නායකයා වූ ඩෙන් ශියා ඕ පිං චීනයේ පවත්නා සමාජවාදී දර්ශනයට ආවේණික ආර්ථික දර්ශනය වෙනස් කොට හුදෙක් වෙළඳපල මත පදනම් වූ පෞද්ගලික ව්‍යවසායකයන්ට අයිතිය ලබාදෙන නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීම නිසා චීනය නොසිතූ ආකාරයේ විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ලැබී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 35ක වැනි කෙටි කාලයක් ඇතුළත ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වන්නට චීනයට හැකි වි ය. මෙය තත්ත්වය හේතුකොට ගෙන චීන ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලබාගන්නා අදහසින් ලෝකයේ බොහෝ රටවල් චීනය සමග ඉතාමත් කිට්ටු ආර්ථික සම්බන්ධතා ගොඩ නගා ගැනීමට කටයුතු කළේ ය.
ලෝක ආර්ථික වර්ධනයට ඉතා සුවිශේෂ බලපෑමක් කරනු ලබන්නේ ඛණිජ තෙල් ව්‍යාපාරය යි. ලොව වැඩි ම ඛණිජ තෙල් ප්‍රමාණයක් නිපදවන රාජ්‍යය වන්නේ සෞදි අරාබිය යි. එවකට සෞදි අරාබියේ විශාලතම ඛණිජ තෙල් ගැණුම්කරු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. නමුත්, අද චීනයේ තිබෙන්නා වූ දැවැන්ත ආර්ථිකයට අවශ්‍ය ඛනිජ තෙල් මිල දී ගන්නා වන චීනය අද වනවිට ඇමෙරිකාව අභිබවා පළමු තැනට පැමිණ ඇත. චීනය තම දැවැන්ත ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ලෝකයේ අනෙක් රටවල් සමඟ සම්බන්ධතා පුළුල් කරගැනීම මේ වනවිට ඔවුන් ආරම්භ කර තිබේ. ඔවුන් එය ලොව අනෙකුත් බලගතු රටවල් අභිභවා පුළුල් ආකාරයට සිදුකර ගනිමින් සිටී.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාව විශාල වෙළඳ පොළ ආර්ථිකයක්, හා දියුණු බැංකු ක්‍රමයක් මගින් වාණිජ ලොව ආර්ථික ප්‍රමුඛයා ලෙස කලක් වැජඹුන ද, ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙතින් එය ගිලිහී යන බව අකමැත්තෙන් වුව ද පිළිගත යුතු සත්‍යයකි. 2008 වසරේ දී ලෝකයේ සිදුවූ ආර්ථික අවපාතය සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයත්, බටහිර යුරෝපයේ බොහෝ රටවල් හා ජපානයත්, චීනයේ නිෂ්පාදිත බඩු ඔවුන්ගේ රටවලට ආනයනය කිරීමේ දී සීමා පැනවීම සඳහා නොයෙකුත් ආකාරයේ බදු තහංචි දැමීමට පටන් ගත්තේ ය.
චීනය මෙය වටහා ගනු ලැබුවේ ආර්ථික වශයෙන් චීනය කොන් කිරීමට ගන්නා ප්‍රයත්නයක් ලෙස ය. එය හේතුකොටගෙන එම රටවල් චීනය සමග ගනුදෙනු සීමාසහිත ආකාරයකට සිදුකළ ද, චීනය අනෙක් රටවල් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනගා ගනිමින් වෙළෙඳ කටයුතු කිරීම පිණිස 2013 දී අති දැවැන්ත ආර්ථික ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. මෙම දැවැන්ත ව්‍යාපෘතිය මේ තාක් කල් ලොව සිදුකළ විශාලතම ආයෝජනයන් යොදා සිදු කරනු ලබන ව්‍යාපෘතිය යි. එනම්, ‘එක් තීරයක්-එක් මාවතක්’ නමැති සුප්‍රකට ව්‍යාපෘතිය යි.
මෙමගින් ලොව රටවල් අසූවකට වැඩි ප්‍රමාණයකට මහා මාර්ග මගින්, දුම්රිය මාර්ග මගින්, නාවික මාර්ග මගින් හා ගුවන් මාර්ග මගින් මහා පරිමාණයෙන් සෘජු සම්බන්ධතා ගොඩ නගාගැනීම අපේක්ෂාව යි. මෙම ව්‍යාපෘතිය මගින් පාර්ශ්ව රාජ්‍යයන්ට සහ චීනයට විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇත. එසේ ම, මෙය තව නොබෝ කලකින් විශාල වශයෙන් ව්‍යාප්ත වීම නිසැකව ම සිදුවනු ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ගොඩනැගුණු දැවැන්ත ව්‍යාපෘති අතරින් විශාලතම ව්‍යාපෘතිය වන්නේ ඒ අනුව යින් ඉදිවන වරාය නගර ව්‍යාපෘතියයි. මෙම ‘එක් තීරයක් එක් මාවතක්’ ව්‍යාපෘතිය මගින් චීනයට පිටත එහෙත් ආසියාවේ ම ඉතා වැදගත් ආර්ථික සංදිස්ථාන තුනක් ආරම්භ කොට ඇත. ඒවා නම් කසක්ස්ථානයේ වියළි වරායත්, පාකිස්ථානයේ ඉන්දියන් සාගරයට මුහුණලා ගොඩනගන ලද ගවුඩා වාරාය හා ඒ අවට ප්‍රදේශ සංවර්ධනය වන කාර්මික නගරයත්, ලංකාවේ වරාය නගරයත් ය. මෙම නගරයට කොළඹ දකුණු වරාය හා හම්බන්තොට වරාය ඉන් කොටසක් වේ.
මෙම ස්ථාන තුන අතරින් ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩසටහනේ වැඩි ම වාණිජ වටිනාකමක් ඇති ව්‍යාපෘතිය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යි. අප දන්නා පරිදි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන්නේ ‘එක් තීරයක්-එක් මාවතක්’ ව්‍යාපෘතියේ මුල්‍ය මධ්‍යස්ථානය කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන ගොඩනැගීම යි. මෙමගින් මෙම ව්‍යාපෘතියේ ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය කොළඹ වරාය නගරයේ බිහිවන බවට සැකයක් නොමැත. මෙම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ඉතා දැවැන්ත ප්‍රතිලාභ ලැබීමට නියමිත ය.
මෙම වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛස්ථානය බැංකුකරණ කටයුතුවලට හා ඒ හා අනුබද්ධ අනෙකුත් ව්‍යාපාර කටයුතුවලට ද හිමිවන බව ඉතා පැහැදිලි ය. මේ පිළිබඳව කෙටියෙන් පවසතොත්, ‘එක් තීරයක්-එක් මාවතක්’ ව්‍යාපෘතියට මූල්‍යමය වශයෙන් සම්බන්ධතා සහ බැඳීම් ඇතිකර ගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ බැංකු සහ චීනයේ විශාල බැංකු මෙම නගරයේ ස්ථාපිත කර අනෙකුත් රටවල බැංකු සමඟ සම්බන්ධතා ගොඩනැගීම චීනයේ අපේක්ෂාව යි. එවිට ලෝකය පුරා වෙළහෙළඳාම් කරන විවිධ ව්‍යාපාර හා නැව් සමාගම් අප වරාය නගරයේ කොටස්කරුවන් වන බව නිසැක ය. එමගින් අපට අත්වන ප්‍රතිලාභ ද ඉමහත් ය.
මෙම ව්‍යාපෘතිය තුළින් විශාල වශයෙන් පෞද්ගලික ආයෝජන, ව්‍යාපාර ආයෝජන සහ රාජ්‍ය ආයෝජන ඉතා කෙටි කාලයක් තුළ දී චීනය මෙම නගරය වෙත යොමු කරනු ඇත. දකුණු ආසියාවේ සහ ආසියාවේ අනෙකුත් රටවල විශාල වශයෙන් ගැවසෙන කළු සල්ලි ආයෝජනය කිරිමේ ස්ථානයක් වශයෙන් නොඅනුමානව චීනය විසින් මෙම ව්‍යාපෘතිය ගොඩනගනවා ඇත. ලොව දැනට මෙවැනි කළු සල්ලි තැන්පත් කිරීමේ ප්‍රධානතම ස්ථාන බවට පත්ව ඇත්තේ ස්විස්ටර්ලන්තය, සිංගප්පූරුව, ලිෂන්ස්ටයින්, ඩුබායි, මෝල්ටා නගරය වැනි ස්ථානයන් ය. චීනය විසින් මෙම නව වරාය නගරයේ කෙරෙන ව්‍යාපෘතිය පිළිබඳව චීන රජයේ සහතික වීමක් මත එම මුදල් තැන්පත් කිරීමට මාර්ගය සැලසුවහොත්, මෙම වරාය නගර ව්‍යාපෘතිය ඉතා කෙටි කාලයක දී සිංගප්පූරුව හා සමාන මුල්‍ය හා වාණිජ කේන්ද්‍රස්ථානයක් වනවා නිසැක ය.
එය නියතයක් වීමට බලපාන ප්‍රධාන සාධක කිහිපයකි. ඉන්දියාව වැනි අති දැවැන්ත ආර්ථිකයක් හා සමාන්තරව දුවන විශාල කළු ආර්ථිකයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. එම ආර්ථිකයේ මුදල් යම් තැනක සුරක්ෂිතව තැන්පත් කිරීම ඉතා වැදගත් ය. මෙවැනි මුදල් බංග්ලාදේශයේ සහ පකිස්ථානයේ ද විහාල වශයෙන් සංසරණය වේ. තව ද, මෙම ‘එක් තීරයක්-එක් මාවතක්’ ව්‍යාපෘතියට සම්බන්ධ රටවල ද මෙවැනි කළු සල්ලි බොහෝ සේ ඇත. චීනය කුමන හෝ ක්‍රමවේදයක් පාවිච්චි කර එම රටවල සිදුකෙරෙන ආයෝජන කොළඹ වරාය නගරයට ආකර්ෂනය කරන වැඩ පිළිවෙලක් සකස් කරනන බව නියතයකි.
මෙම මුල්‍ය කේන්ද්‍ර ස්ථානය හේතු කොටගෙන ඉහළ මට්ටමේ වේතන ගෙවන රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් මේ තුළ නිර්මාණය වේ. ලාංකිකයන්ට මෙය අනගි අවස්තාවකි. මෙමගින් ලැබෙන පහසුකම් මගින් ලංකාවේ මානව ප්‍රාග්ධනයට ද මෙරට රැඳී රැකියා කිරීමට අවස්ථාව සැලසේ. තව ද, ගොඩනැගිලි අංශයට හා සැපයුම් අංශයට ද මෙමගින් විශාල අවස්ථා හිමිවනු ඇත.
මෙකී ආයෝජනය මූලික කරගෙන මෙම මූල්‍ය නගරය තුළ ලෝකයේ තෝරාගත් විශේෂ සමාගම් රාශියක ම කොටස් මිල දී ගැනීම සහ විකිණීම සඳහා නව කොටස් වෙළඳපළක් ද මෙහි ඇති කීරීමේ ඉඩකඩ චීනයට ඇත. එවැනි තත්වයක් කරා යාමට අප රජය ඒ සඳහා චීනයට අනුබල දියයුතු ය. එවිට ලෝකයේ වෙනත් තැන්වල කොටස් වෙළඳපළවල් ගොඩනැගීම සඳහා ආයෝජනය කරනවාට වඩා වරාය නගරය එහි කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට චීනය අනිවාර්යයෙන් ම කටයුතු කරනු ලබයි. හොංකොං දේශයේ අද පවතින නොසන්සුන්භාවය තුළ එහි තිබෙන්නා වූ ආයෝජන වරාය නගරයට අනිවාර්යෙන් ම ඇදී එනු නොඅනුමාන ය.
එවන් මහගු අවස්ථාවක් මෙම නගරය තුළ නිර්මාණය වුවහොත්, ලොව තිබෙන අනෙකුත් මූල්‍ය කේන්ද්‍රස්ථානයන් මෙන් අපේ රට ද, විශාල දියුණුවකට හා වැදගත් තත්ත්වයකට පත්වනු නිසැක ය. මේ හා සමාන විශාල වටිනාකමක් ඇති නිව්යෝක්, ෆ්‍රැන්ක්ෆර්ට්, සිංගප්පූරුව, හොංකොං යන නගරවල කොටස් වෙළදපොළ ගණුදෙනු ලංකාව තුලද අලෙවිවන ඒ හා සමාන ස්ථානයක් වරාය නගරය තුළ නිර්මාණය වීම අනිවර්යෙන් ම සිදූ වේ. එමගින් රටට ලැබෙන ප්‍රතිලාභ අතිමහත් ය.
මෙම ‘එක් තීරයක්-එක් මාවතක්’ ව්‍යාපෘතියට ඉන්දියාව තවමත් එක් වී නැත. ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සුවිශේෂී ගිවිසුමකි. මෙමගින් ‘එක් තීරයක්-එක් මාවතක්’ යන ව්‍යාපෘතියට සම්බන්ධ රටවල ඇති දැවැන්ත ව්‍යාපාර ඉන්දියාවත් සමඟ ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාව පහුරක් වශයෙන් යොදා ගැනීම අනිවාර්යෙන් ම සිදුවෙයි. එවැනි අවස්ථාවල දී එම සමාගම් ශ්‍රී ලංකාව තුළ ඇති ව්‍යාපාරවල හා කර්මාන්ත ශාලාවල ආයෝජනය කර එම නිෂ්පාදන ඉන්දීය වෙළඳපොළට යැවීම අනිවාර්යෙන් ම සිදුවේ. මෙමගින් මෙරටට අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන අතර, රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් මෙමගින් සම්පාදනය වේ. වරාය නගරයේ ඇතිවන නව මූල්‍ය වෙළඳපොල මුල්කරගෙන කර්මාන්ත සහ ව්‍යාපාරවලට ඉතා තරගකාරී ණය පහසුකම් ලබාගත හැකිවන හෙයින්, මෙමගින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය ද ඊට සාපේක්ෂව ඉහළ යයි.
මෙම කොළඹ වරාය නගරයේ දියත්වන ව්‍යාපෘති සහ එමගින් නිර්මාණය වන සේවා කටයුතු නිසා ව්‍යාපාරික සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එහි ප්‍රතිඵලය වන්නේ විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙන සංචාරක කර්මාන්තයට ඉමහත් සාධනීය බලපෑමක් සිදුවීම යි. මේ සියල්ල සිදුවන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත වීම එහි ඇති විශේෂත්වය යි. මෙමගින් ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්තානයක් වනු ඇත.
එමෙන් ම මෙහි විශාල ආයෝජන සිදු වූ පසු ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු ව්‍යාපෘතියක් වශයෙන් ‘ක්‍දපදාසඑහ ත්‍මඑමරු ෑංජය්බටැ. වෙළඳාම් මධ්‍යස්ථානයක් ඇතිවීමට ද ඉඩකඩ තිබේ. මෙවැනි ස්ථානයක් කිසිදු ආසියාතික රටක දැනට හරියාකාරව ක්‍රියාත්මක නොවේ. ශ්‍රී ලංකා රජයට චීනය සමඟ එක්ව අනිවාර්යෙන් ම මෙවැන්නක් බිහිකළ හැකි ය. දැනටමත් ලොව විශාලතම තේ වෙන්දේසිය පැවැත්වෙන්නේ ලංකාවේ ය. වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙය තවදුරටත් පුළුල් කළ හැකි ය.
එමෙන් ම, සංචාරක ව්‍යාපාර හා බැදුණු කුලී රථ සේවා, ආහාර පාන හා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත කෘෂිකර්මාන්ත, මැණික් හා ස්වර්ණාභරණ ධීවර කර්මාන්තය, ප්‍රවාහන, ගෘහස්ථ සේවා කර්මාන්ත දියුණුවක් ලැබීම දීර්ඝකාලීන ප්‍රතිලාභ වේ. අපේ රටේ මානව ප්‍රාග්ධනය රට තුළ ම නතර කරගෙන එම සම්පත රටේ අභිවෘද්ධියට භාවිත කිරීමට මෙය අනගි අවස්ථාවකි.
මෙම වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවාට ඉන්දියාවත්, ඇමෙරිකාව ප්‍රමඛ බටහිර ලෝකයත් ස්ථිරව ම මෙයට අකමැති ය. මෙය කඩාකප්පල් කිරීමට කළහැකි ඕනෑ ම දෙයක් කිරීමට පසුබට නොවන බව නොරහසකි. එහෙයින්, ගරු ජනපතිතුමනි නිර්භීතව ඔබ සහෝදරයා විසින් ආරම්භ කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය අවසන් කරන්න. මෙමගින් අපේ රට අග්නිදිග ආසියාවේ බිහිවන මැලේසියාව, තායිවානය, තායිලන්තය වැනි විශාල ආර්ථිකයන් හා සමාන රටක් බවට පත්වන බව බොහෝ විද්වතුන්ගේ අදහස යි.
අප රටට ඉන්දියාවෙන් ලද දේ අපමණ ය. අප රටට ඉන්දියාවෙන් ලැබණු සුවිශේෂ වූ ද, මිල නොකළ හැක වූ ද දායදය බුදු ධර්මය යි. එය නිතර්කයෙන් ම දෑත් දොහොත් මුදුනේ තබා සාදූකාර දී පිළිගන්නෙමු. නමුත්, අපේ රට මේ ආර්ථි සටනින් ජයගෙන ලොව ධනවත් බලවත් රාජ්‍යයක් වීමට නම් චීනය හා සමඟ එක්වී ඉදිරියට යාම යෝග්‍යතම මාර්ගය යි.
සමහර විරුද්ධවාදීන් දේශපාලන වාසි ලබාගැනීමටත්, පෞද්ගලික වාසි ලබාගැනීමටත් මෙම ව්‍යාපෘතිය දැඩි සේ විවේචනය කරමින් සිටිති. අප රට චීන කොළනියක් වන බව කියති. මේ කිසිවක් සිදු නොවන බව අපට හෙට ඉර පායනවා මෙන් විශ්වාස ය. අපේ රටේ ආණ්ඩුව රේගුවත්, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවත්, ආරක්ෂක හමුදාත් පාලනය කරන්නේ නම් ‘පීරිසියේ කිඹුළන් දකින’ ඔවුන්ගේ ‘කොළනි කතා’ බංකොළොත් මඩ ව්‍යාපෘතියක දිරාපත් ආයුධ බව ජනතාව හොඳින් ම දනිති.
කස්සප දේවමිත්ත සපරමාදු