රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දින පණ්වුඩයක් නිකුත්කරමින් සඳහන් කරයි.
විපක්ෂ නියකවරයාගේ මැයි දින පණිවුඩය පහත සඳහන් වේ.
"වසර 1886 දී ඇමරිකාවේ චිකාගෝ නුවරින් ඇරඹි ඓතිහාසික කම්කරු අරගලය සිහිපත් කරමින් අද දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට සමස්ත වැඩ කරන ජනතාව වෙත මාගේ ගෞරවය පිරිනමමි. එදා දහඩිය, කඳුළ සහ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ මුරය සහ මානුෂීය සේවා කොන්දේසි යනු ශ්‍රමික අභිමානයේ පදනම වන අතර එම ඓතිහාසික ජයග්‍රහණය අදටත් ලොව පුරා වැඩ කරන ජනතාවට අසාධාරණයට එරෙහිව නැගී සිටීමට මහා ශක්තියක් ලබා දී තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසය දෙස බැලීමේ දී ද මෙරට ආර්ථිකයේ ජීව රුධිරය වන කම්කරු ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් කළ කැප කිරීම් අප සැමවිටම ගෞරවයෙන් යුතුව අගය කළ යුතුය.
මෙවර මැයි දිනය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට බව අප අමතක නොකළ යුතුය. වත්මන් රජයේ අදුරර්දර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ජීවන වියදම අහස උසට නැඟ ඇති අතර ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇත. ආයෝජන දිරි ගැන්වීමේ සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල නාමයෙන් පවතින කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිත භාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයන් අපි දැඩි ලෙස හෙළා දකිමු. අයිතීන් ඉල්ලා හඬ නඟන වෘත්තීය සමිති සහ ශ්‍රමිකයන් මර්දනය කරමින් ගෙන යන මේ ගමන වහාම නැවැත්විය යුතු බව අප අවධාරණය කරමු.
අර්බුධ රැසකින් වැටුණු රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සම අවස්ථා ලබා දෙන පාලනයක් තුළින් පමණි. මර්දනයට එරෙහිව එවන් පාලනයක් වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් අප එක්ව පෙළ ගැසිය යුතුය.
රටේ ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රමිකයා යනු යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී' මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව අප රටට අවශ්‍ය වී තිබේ. එහිදී ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවක සුරක්ෂිත භාවය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තහවුරු කිරීමටත් අප කැපවිය යුතුය. එසේම පීඩිත පන්තියේ බඩගින්න සහ වේදනාව හඳුනන ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවය දෙන පාලනයක් රටේ ස්ථාපිත විය යුතුය. ඒ වෙනුවෙන් වන ජනතාවාදී අරගලය සඳහා සියලු වැඩ කරන ජනතාවට අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කර සිටිමි".