Thursday, April 30, 2026
Follow Us
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරුන්ගේ වෘත්තතීය ගැටලු සහ පරිපාලන ගැටලු පිළිබඳ අගමැතිනියගේ අවධානය
ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනය තුළ කලක් සිට පැවති ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු සහ පරිපාලන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ සාකච්ඡාවක් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයේ කථිකාචාර්ය සංගමයේ සාමාජිකයින් අතර ඊයේ (29) ඉසුරුපාය, අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.

 

එම ආයතනයේ කථිකාචාර්යවරුන්ගේ වෘත්තීය මට්ටම නගාසිටුවීම, කලක් සිට නොවිසඳුණු උසස්වීම් හා බඳවා ගැනීමේ ක්රියාපටිපාටියේ සිදු කළ යුතු වෙනස්කම් සහ අධ්යයන දීමනා ඇතුළු අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා සිදු වූ අතර එම ඇතැම් ගැටලු සම්බන්ධයෙන් මේ වන විටත් ලබා දී ඇති විසදුම් පිළිබඳ දැනුවත් කිරීම ද අග්රාමාත්යවරිය විසින් සිදු කරන ලදී.
 
එමෙන් ම ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනය තුළ පරිපාලනමය වෙනසක් සිදු කරමින්, එම ආයතනයේ දැක්ම හා මූලික අරමුණුවලට අනුකූල වන සේ කාර්යයන් පෙළගැස්වීම හා සම්බන්ධ කරුණු ද අග්රාමාත්යවරියගේ අවධානයට යොමු විය.
 
මෙහිදී අදහස් දක්වමින් අග්රාමාත්යවරිය කියා සිටියේ, මෑත කාලයේදී ඉතා වේගයෙන් වෙනස් වන සාධකයක් බවට තාක්ෂණය පත්වී ඇති බැවින්, යාවත්කාලීන වූ එම තාක්ෂණික දැනුම ඇති නූතන වෘත්තිකයා බිහි කිරීමට නම් සිසුන්ට තාක්ෂණික හා වෘත්තීය දැනුම ලබා දෙන සියලුම ආයතන එම වෙනස් වන තාක්ෂණය හා අනුගත විය යුතු බවයි.
 
එමෙන්ම ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයේ ප්රධාන කාර්යභාරය සමග ගැළපෙන පරිදි අධ්යයන හා අනධ්යයන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා වූ සැලසුම් සම්පාදනය කරන බවත්, ඔවුන්ට හිමි දීමනා ක්රම ක්රමයෙන් හිමි කර දීමට කටයුතු කරන බවත් අග්රාමාත්යවරිය මෙහිදී ප්රකාශ කර සිටියාය.
 
තවද විවිධ ව්යාපෘති හා විෂය කරුණු යාවත්කාලීන කිරීම් වැනි ක්රියා සිදු කිරීමේදී පාලක සභාව සහ අධ්යයන අංශයට අමතරව කර්මාන්ත ක්ෂේත්රය ද ඊට සම්බන්ධ කර ගැනීමේ වටිනාකම පෙන්වා දුන් අග්රාමාත්යවරිය, එමඟින් කර්මාන්ත ක්ෂේත්රයට අවශ්ය දැනුමක් සහිත වෘත්තිකයින් බිහි කිරීමට එය පහසුවක් වන බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා උසස් තාක්ෂණ අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු උසස් අධ්යාපන අංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.