යහපාලනය ඇතුළේ සංහිඳියාව නොවුණේ ඇයි? යන මැයෙන් ජූලි 07 දා පළ වූ මෙම ලිපියේ පළමු කොටසින් ‘යහපාලන’ ආණ්ඩුව විසින් සංහිඳියාව සංකල්පගත කරන ලද ආකාරය සහ සංහිඳියාවට ප්‍රවේශ වූ ආකාරය විස්තර කෙරිණ. මෙම කොටසින් පෙන්වා දෙන්නේ සංහිඳියාව පිළිබඳ ‘යහපාලන’ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සහ ඒ සඳහා ස්ථාපිත කළ විවිධ ආයතන මගින් එම න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන ලද ආකාරය පිළිබඳවය.
නව සංහිඳියා යාන්ත්‍රණය
පළමු ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට ජාතික සංහිඳියාව පිළිබඳ සංවාදය සහ න්‍යාය පත්‍රය ජිනීවා (UNHRC) 30/1 යෝජනාවලියෙන් ඉදිරිපත් කරන ලද ආයතනික රාමුවක් හරහා නිර්වචනය විය. මෙම රාමුවට ඇතුළත් වූ සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ නැවත ඇති නොවීම යන පදනම් හතර සහිත සංකල්පය 2015 වසරට කලින් අප දැන සිටියේ නැත. මෙම පදනම් හතර පිළිබඳව මීට පෙර කතිකාවක් නොතිබූ බවත්, පිළිගෙන ඇත.
ප්‍රධාන වශයෙන් මෙම පදනම් හතර මත පදනම් වූ ආයතන රාමුවක් කෙරෙහි රජයේ අවධානය යොමුවීම නිසා ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ මානසික සුවය පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි රාජ්‍ය ප්‍රතිසංස්කරණ සහ මැදිහත්වීම් වෙනුවෙන් පැවති අවධානය පළුදු වීමක් හෝ එය දෙවැනි තැනකට වැටීමක් සිදු වූ බව විචාරකයෝ පෙන්වා දෙති. තවද ජිනීවා යෝජනා ඇතුළත් අලුත් ආයතනික රාමුව වගවීම සහ දඬුවම් පමණක් අරමුණු කරගත්, යුක්තිය මත ම පදනම් වූ ආයතනික රාමුවක් බව ද පෙන්වා දී තිබේ. ඉහත කරුණු කාරණා වැදගත් ඒවා වුව ද, සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ඒවා කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.
ඒ අතර තවත් කරුණක් වන්නේ ජාතික න්‍යාය පත්‍රයක් ගොඩනගා ගැනීම සඳහා මේ කාරණා ප්‍රමාණවත් නොවන බව ය. මෙම ආයතනික රාමුව අප රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ නෛතික රාමුවෙන් පරිබාහිරව ස්ථාපිත කරන ලද ආයතන පද්ධතියක් වන හෙයින්, එම ආයතනවල තිරසාරභාවය ගැන විවිධ සැකසංකා සහ විවේචන මතුව තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. මෙවන් සුවිශේෂී ආයතන රටේ ප්‍රධාන නීති රාමුව තුළට අන්තර්ගත වීමේ අත්‍යවශ්‍යතාව විචාරකයන් විසින් පෙන්නා දෙන ලද තවත් කරුණකි.
ආයතනික ‘අවුල’
‘යහපාලන’ ආණ්ඩුවේ සංහිඳියා න්‍යායපත්‍රය සංකල්පමය වශයෙන් අපැහැදිලි තත්ත්වයක් පමණක් නොව, විවිධ වචන සමූහයක පැටලුණු සහ විවිධ පාර්ශ්වකරුවන්ගේ අභිමතාර්ථයන් මත පදනම් වී නිර්මාණය වූ ආයතන පද්ධතියක අවුල් ජාලයක් ලෙස ද පිළිබිඹු වේ. යෝජනා වූ ආයතනික රාමුව මත පදනම් වූ නව ආයතන කිහිපයට අමතරව එකමුතු බව, සංහිඳියාව, සහජීවනය සහ සංවාද වැනි විවිධ නිර්වචන මත පදනම්ව තවත් ආයතන කීපයක් ද නිර්මාණය වී ය. මෙම ආයතනවල කාර්යභාරය සහ ව්‍යාප්තිය පිළිබඳ කිසිදු පැහැදිලි බවක් දක්නට නොවී ය.
මේ නිසාම, මෙම ආයතන විවිධ පාර්ශ්වකරුවන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත පදනම්ව නිර්වචනය වූ බවක් දක්නට ලැබිණි. මෙකී විවිධ පාර්ශ්වකරුවන්ට සංහිඳියා න්‍යාය පත්‍ර යේ කොටසක් වීමට අවශ්‍යව තිබිණි. එනිසා, සංහිඳියා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වීමේ දී මෙවන් විවිධ වචන මත පමණක් ම පදනම්ව ආයතන නිර්මාණය වීමෙන් බරපතල ආයතනික අවුලක් ඇති වූ බව දක්නට ලැබිණ. ජාතික න්‍යායපත්‍රය හා මෙම ආයතන අතර ඇති සම්බන්ධකම ගැන ද බොහෝ ප්‍රශ්න මතුවී තිබේ. උදාහරණ වශයෙන් දැක්වුවහොත්, ජාතික සමගිය සහ සංහිදියාව පිළිබඳ කාර්යාලය ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සහ සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය දැක්විය හැකිය.
ජාතික සමගිය සහ සංහිදියාව පිළිබඳ කාර්යාලයේ කාර්යභාරය වෙත අවධානය යොමු කළහොත්, එය ජාතික ඒකාබද්ධතාවට සහ සංහිඳියාවට අදාළ ප්‍රතිපත්ති සහ වැඩසටහන් සම්පාදනය කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමට හා සම්බන්ධීකරණය කිරීමටත් ස්ථාපිත කළ ආයතනයකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග සභාපතිත්වය දරන මෙම කාර්යාලය විසින් එම වැඩසටහන් නිර්මාණය කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සහ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ආයතන සම්බන්ධ වීම වැනි දේ සිදු කෙරේ.
සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණය නිර්මාණය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම ය. 2015 දෙසැම්බර් 10 වැනි දින රැස්වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකින් නිර්මාණය වූ මෙම ආයතනය පවතින්නේ රටේ අග්‍රමාත්‍යවරයා යටතේය. මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ මනෝ තිත්තවැල්ල මහතාය.
2015.09.20 දිනැති අංක 1933/13 දරන ගැසට් පත්‍රය මගින් ස්ථාපිත කළ ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ ජාතික සහජීවනය, අන්‍යෝන්‍ය ගෞරවය සහ මිත්‍රශීලී ගනුදෙනු සහිත නූතන සමාජයක් බිහිකිරීමේ ලා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ජාතික සංවාද වර්ධනය කිරීම හා ඒ සඳහා මගපෙන්වීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් ය. මෙම අමාත්‍යාංශය ක්‍රියාත්මක වන්නේ මනෝගනේෂන් අමාත්‍යවරයා යටතේ ය.
මෙකී ආයතනයන්හි කාර්යභාරයන් එක හා සමාන වන අතර එම ආයතන එකිනෙකින් වෙනස් වන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බවත් පැහැදිලි ය. නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති මෙම ආයතන එකිනෙකින් වෙනස් වන්නේ හුදු වචන හා විවිධ පාර්ශ්වකරුවන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත බව පැහැදිලි වේ. මෙම ආයතන ස්ථාපිත කරන ලද්දේ සංහිඳියා න්‍යායපත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන්ට යම්-යම් වරප්‍රසාද හා රජයේ තනතුරු ලබා දීම අරමුණු කොටගෙන මිස ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ආයතන මට්ටමෙන් කළයුතු අත්‍යවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නොවන බවත් විචාරකයන් පෙන්වා දී ඇත.
ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය සහ සංහිඳියා යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීමේ ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයට පරිබාහිරින් නිර්මාණය වූ කැබිනට් මණ්ඩලයේ විශේෂ බලතල මත ස්ථාපිත කෙරුණු ආයතන බව ඔවුහු පෙන්නා දෙති. මෙම ආයතනවලට විවිධ උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම සහ විවිධ තනතුරු බෙදා ගැනීම කුමන ආකාරයෙන් සිදුවන්නේ ද යන්න පැහැදිලි නැත. තව ද, එක හා සමාන කාර්යභාරයන්ගෙන් සමන්විත මෙම ආයතන මහජන ඉල්ලීම් මත පදනම්ව නිර්මාණය වූයේ ද යන්නත් පැහැදිලි නැත.
දේශපාලන කැපවීම සහ ජාතික පිළිගැනීම නමැති මිථ්‍යාව
සංහිඳියා න්‍යායපත්‍රයට ඇති දේශපාලන කැපවීම සහ ඊට ඇති ජාතික පිළිගැනීම සම්බන්ධයෙන් ද විවිධ ප්‍රශ්න පැනනැගී තිබේ. මෙම සංහිඳියා න්‍යායපත්‍රය සහ එම වැඩපිළිවෙළ ගැන විශේෂ අවධානයක් තිබූ ‘යහපාලන’ රජයේ දේශපාලඥයන් කිහිපදෙනකු හැර අනෙක් අය මෙම න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් කරන ලද කැපවීම පැහැදිලි නැත. මෙම නොසැලකිලිමත්කම වඩාත් හොඳින් පිළිබිඹු වූයේ ‘සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ මහජන මත විමසීමේ කාර්යබලකාය’ හෙවත් CTF වාර්තාව නිල වශයෙන් භාර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ උදාසීන ප්‍රතිපත්තියේ දී ය.
තමා විසින් ම පත්කළ මහජන මත විමසීමේ ක්‍රියාවලිය අවසානයේ ලබාදෙන වාර්තාව භාරගැනීම අවශ්‍ය නොවේ ය යන මතයේ අග්‍රමාත්‍යවරයා සිටි බවක් දක්නට ලැබුණි. ‘යහපාලන’ ආණ්ඩුවේ දේශපාලන චරිත අතීතයේ සිදුකළ ප්‍රකාශ සහ විවිධ අවස්ථාවන්හි ගන්නා ලද ක්‍රියාමාර්ග හරහා සංහිඳියාව කෙරෙහි ඔවුන්ගේ ඇති උනන්දුව සහ කැපවීම ගැන තක්සේරු කරගත හැකි බවත්, ‘යහපාලන’ ආණ්ඩුව තුළ ඔවුන්ගේ මෙම සංහිදියාව පිළිබඳ දෙබිඩි පිළිවෙත පුදුමයට කාරණයක් නොවිය යුතු බවත් විවිධ විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.
දේශපාලන කැපවීමක් නොමැතිව මෙම සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරියට ගමන් කළේ සිවිල් සංවිධානවල වුවමනාවන්ට බවත්, විවිධ සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකරුවන් මෙම ක්‍රියාදාමයන්හි විවිධ මට්ටමින් දායක වූ බවත් පැහැදිලි වේ. මෙම සිවිල් සංවිධාන සාමාජිකයන් සහ සිවිල් ක්‍රියාකරුවන්, ක්‍රියාකාරී කමිටු, තාක්ෂණික කමිටු සහ උපදෙස් හා මහජන මත විමසීම් කමිටුවලට සම්බන්ධව කටයුතු කරමින් විවිධ නියෝජනයන් ඉදිරිපත් කළ හ. එසේ ම, බොහෝ වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත්වෙමින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම සම්බන්ධීකරණ ක්‍රියාවලියට දායක වූ බව දක්නට ලැබුණි. මෙම ක්‍රියාවලියට සහභාගි වූ ක්‍රියාකරුවන් දෘෂ්ටිවාදීව ලිබරල්වාදීන් ද වේ.
මීට අමතරව, ක්‍රියාත්මක වූ විවිධ සංහිඳියා ක්‍රියාදාමයන්හි ආණ්ඩුව සහ රාජ්‍ය සේවය අතර සම්බන්ධයක් දක්නට නොතිබුණි. මෙම බොහෝ ක්‍රියාවලි සංකල්ප ගත කිරීමේ දී, නිර්මාණය කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී ද රාජ්‍ය සේවකයන්ට වඩා පිටස්තර උපදේශකවරුන් හරහා එම කටයුතු සිදුකෙරිණි. මෙම වැඩපිළිවෙළ හා තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සංසන්දනය කිරීමේ දී පෙනී යන්නේ තොරතුරු දැනගැනීමේ පනත ලද සාපේක්ෂ ජයග්‍රහණයන්ට හේතුවූයේ මුලසිට ම එම පනත ගෙන ඒමටත්, එය ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය සේවකයින් සම්බන්ධ වූ බව ය. එම ක්‍රියාවලියේ දී රාජ්‍ය සේවකයන් විශ්වාසනීයත්වයකින් දේශපාලන බලධාරීන්, සිවිල් සමාජය එසේත් නැතිනම්, සිවිල් ක්‍රියාකරුවන් සමඟ එකමුතුව වැඩ කළ බව දක්නට ලැබුණි.
මීට අමතරව සංහිඳියාව සඳහා යෝජිත ක්‍රියාවලියට සහ ආයතනික රාමුවට මහජන පිළිගැනීමක් හෝ ඉල්ලුමක් තිබුණේ ද, නැද්ද යන්න සැකසහිතය. එසේ ම, මෙම සංහිඳියා යාන්ත්‍රණය ‘යහපාලන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතයක් නොවූ හෙයින්, මැතිවරණයේ දී ඒ සඳහා මහජන මත විමසීමක් සිදු නොවූ බවත් විවිධ විචාරකයන් විසින් පෙන්නා දී තිබේ. ඒ පිළිබඳව තක්සේරුවක් කිරීමටද අවස්ථාවක්ද ලැබී නැත.
ඉදිරි ගමන
සංකල්පමය අපහැදිලිතාව, පරස්පර විරෝධී අදහස්, වචනවල අවුල සහ පැහැදිලි හා නිශ්චිත නැති ආයතන මාලාවක් නිර්මාණය කිරීම, දේශපාලනික කැප වීමක් නොමැතිවීම සහ දේශීය වශයෙන් භාරකාරත්වයක් නොමැතිවීම ‘යහපාලන’ ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළේ දුර්වලතා වීය. මේ හේතුන් නිසා ‘යහපාලන’ ආණ්ඩුව මුළුමනින් ම සංහිඳියා අවුලක සිරවුණු බවක් පෙනේ. ඉන් ඔබ්බට යාමට නම් ශ්‍රී ලංකාවේ අපි, අපට ආවේණික වන, දේශීය වශයෙන් නිර්වචනය කළහැකි සහ පිළිගත හැකි සංහිඳියාව පිළිබඳ කතිකාවක් සහ න්‍යායපත්‍රයක් නිර්මාණය කරගත යුතු වෙමු. මෙය ඉතා භාරදූර දුෂ්කර කාර්යයක් වන්නේ පවත්නා විවිධ මත ගැටුම්, යම්-යම් සීමාවන්ට කොටු වූ අදහස් ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජනකොටස්වලට පිළිගත හැකි වන වැඩපිළිවෙළවක් නිර්මාණය කිරීමේ අභියෝගය සහ විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සහ සංහිඳියාව අතර පැවතිය යුතු සහසම්බන්ධය යන කාරණා සමතුලනය කරගැනීම අත්‍යවශ්‍ය වන හෙයිනි.
(Aruna)