ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපවල තීරණාත්මක ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවාවන් සංරක්ෂණය කිරීම තුළින් තිරසාර ආර්ථික ප්රතිලාභ ප්‍රවර්ධනය කිරීම උදෙසා තැබූ වැදගත් පියවරක්
ගෝලීය පරිසර පහසුකම් (GEF) අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන “ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපවල ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවාවන් සංරක්ෂණය කිරීම තුළින් තිරසාර ආර්ථික ප්රතිලාභ ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ ව්‍යාපෘති ලේඛනයට අත්සන් තැබීම අද දින (4) දින සිදු කෙරිණි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Azusa Kubota මෙනෙවිය විසින් අදාළ ව්‍යාපෘති ලේඛනයට අත්සන් තබන ලදී.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ අධ්යක්ෂ මොහාන් හීනටිගල මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය පරිසර අමාත්‍යාංශය මඟින් පූර්ණ ජාතික ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය (Full National Implementation Modality - NIM) යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 4.507ක සම්පූර්ණ ඇස්තමේන්තුවකින් යුත් GEF ප්‍රදානයක් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ගෝලීය පරිසර පහසුකම් ආයතනයේ (GEF) සහයෝගය ඇතිව වසර පහක කාලයක් පුරා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපවල ජෛව විවිධත්ව සංරක්ෂණය, පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වභාවධර්මය මත පදනම් වූ තිරසාර ආර්ථික අවස්ථා ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී ප්රමුඛ අවධානය යොමු කෙරේ. මෙම ව්‍යාපෘතිය අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙනු ඇත.
ඒකාබද්ධ ගොඩබිම් සහ සමුද්‍රීය කළමනාකරණය සඳහා පාලනය, ප්‍රතිපත්ති සහ ආයතනික ධාරිතාවන් ශක්තිමත් කිරීම;
ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (Nature-based solutions) වෙනුවෙන් මූල්‍ය යාන්ත්‍රණයන් සහ දිරිගැන්වීම් වැඩිදියුණු කිරීම;
තෝරාගත් වෙරළබඩ සහ සමුද්‍රීය කලාපයන්හි පරිසර පද්ධති පාදක කළමනාකරණය මෙන්ම ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් ප්‍රායෝගිකව ආදර්ශනය කිරීම;
දැනුවත්භාවය, දැනුම කළමනාකරණය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්රවාහයට එක්කිරීම (Gender mainstreaming) ප්‍රවර්ධනය කිරීම; සහ ඵලදායී හා තිරසාර ක්‍රියාත්මක කිරීමක් උදෙසා අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම.
ඒකාබද්ධ, බහුවිධ-ක්ෂේත්‍ර මෙන්ම ප්‍රජා-මූලික ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ තීරණාත්මක ගොඩබිම්, වෙරළබඩ සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන අතරම, නැගෙනහිර සහ දකුණු වෙරළබඩ කලාපවල වෙසෙන ප්‍රදේශවාසී ජනතාවගේ තිරසාර ජීවනෝපායන්, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන ආර්ථික ප්රතිලාභ වර්ධනය කිරීම අරමුණු කරනු ලබයි.