Saturday, April 19, 2025
Follow Us
ව්‍යාජ ආරාධනා පත්‍රයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ ව සකස් කරන ලද්දක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර ඇත. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවය.

තවද මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.