Monday, December 30, 2024
Follow Us
කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 හෙට ඇරඹේ

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරනු ලබන පළමු කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 වැඩසටහන හෙට(19) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වීමට නියමිතයි.

කෘතිම බුද්ධිය පිළිබඳ ව කතිකාව ජනමාධ්‍යකරණයේ ඉදිරි ගමන්මග කෙරෙහි සිදු කරන සාධනීය බලපෑම කුමක් ද? එහි නූතන ප්‍රවණතා ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සංස්කෘතියේ දිශානතියට කුමක් සිදු කරනු ලබයි ද? යන්න පිළිබඳව ශාස්ත්‍රීයව සහ විශ්ලේෂණාත්මකව අවධානය යොමු කරමින් විද්වතුන් සහ ජනමාධ්‍ය වෘත්තිකයින් ජනමාධ්‍ය පර්යේෂණ පත්‍රිකා මගින් සිය අදහස් ඉදිරිපත් කිරීම මෙහි දී සිදු වනු ඇති.

දෙමුහුන් ක්‍රමයට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර පර්යේෂණ සැසියේ මුඛ්‍ය දේශනය සිදු කරනු ලබන්නේ දකුණු කොරියාවේ සයිබර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එරික් පාර්ක් මහතා විසින්.
ප්‍රධාන සැසි 04ක් යටතේ සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් Zoom තාක්ෂණය ඔස්සේ මීට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම මෙය පැවැත්වෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ, කැලණිය, ජයවර්ධනපුර, යාපනය යන විශ්වවිද්‍යාල සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය, ශ්‍රීපාලි මණ්ඩපය ඇතුළු දේශීය විශ්වවිද්‍යාලයන් හි ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධවයි.