මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත්, ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් අරබයා එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි. එහි දී එම සංගමයට බලපාන්නා වූ දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මක වන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමත්, සංගමයේ නියෝජිතයින්ට බලපානු ලබන පොදු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුවිය.
මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන බවත්, මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බව ද පැවසීය.
මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීමක් නැති අක්‍රීය තැනක් බවට පත්කර ඇති බැවින් ජනමාධ්‍ය අමාත්‍යාංශය නිසි තැන තැබීම වර්තමාන රජයේ මුලික අරමුණක් වන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මානව හා භෞතික සම්පත් කොතරම් තිබුණ ද ඵලදායිතාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් පෞද්ගලිකව ම තමා දකින බව ද පැවසීය.
දෙස් විදෙස් අරමුදල් යොදාගෙන මෙරට බොහෝ ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති බව ද එහෙත් එම ව්‍යාපෘති ජනතාව සමග බද්ධ නොවීම හේතුවෙන් අවසානයේ ඵලදායි නොවන ව්‍යාපෘති බවට පත්ව ඇති බව ද පැවසූ අමාත්‍යවරයා එදා මෙදා තුර ජනතාවට සහනාධාර කොපමණ දී තිබුණත් එම සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ තුළ ද මෙරටට ඵලදායි අගයක් එක්ව ඇති බවත් පෙනී නොයන බව ද සඳහන් කළේය.
රජයේ අමාත්‍ය මණ්ඩලයට මේ දිනවල ජනමාධ්‍ය තුළින් චෝදනාවක් එල්ලවන වන බව පැවසූ අමාත්‍යවරයා “අමාත්‍යවරු අල්ල ගන්න බැහැ, මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ, සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නේ නැහැ“ යනුවෙන් එම චෝදනා එල්ල කරන බවත්, වර්තමානයේ මේ රට පවතින තත්ත්වය තුළ මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරනවාට වඩා මෙරට ජනතාවට ඵලදායි ආකාරයට රජයේ ශක්තිමත් පදනම සකස් කිරීමේ බාරදුන් වගකීම අංග සම්පුර්ණව ඉෂ්ට කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට කාලය, වෙහෙස නොබලා නිහඩව වැඩකටයුතු කිරීමට ඇති බව ද පැවසීය.
ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි මසට යෙදී තිබෙන බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ඒ වෙනුවෙන් ගුණාත්මක වැඩසටහනක් සැලසුම් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ නියෝජිතයින් මෙහි දී අමාත්‍යවරයා වෙත යෝජනා සහ අදහස් කිහිපයක් ඉදිරිපත් කළ අතර, එමෙන් ම මාධ්‍යට නිදහසේ සහ ස්වාධීන ව කටයුතු කළ හැකි පරිසරයක් සකස් කරමින් මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ලෙස ඉල්ලීමක් ද කළේය. තව ද මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල ආරක්ෂාව මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ද මාධ්‍ය නිදහසට දැනට ඇති බාධාවන් පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාව දැනුවත් කරන ලදි.
මෙම අවස්ථාවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විඡේනායක, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි වික්‍රමගේ, යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.